විමර්ශනය අවසානයේ වරදකරු වුවොත් අසාධාරණ නොවේ - හිටපු ජනපති

නොවැ 25, 2020

    පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන කිසියම් විමර්ශනයකින් තමන් වරදකරුවෙකු වුවහොත් තමන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණ නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

    කෙසේ වෙතත් ඊයේ සහ අද යන දෙදින තුළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා දිගින් දිගටම කියා සිටියේ එම ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වල සහ බුද්ධි අංශ වල සියලුදෙනා වගකිවයුතු වුවද ජනාධිපතිවරයා ලෙස තමන්ට කිසිදු වගකීමක් නොමැති බවයි.

    මේ අතර අද දිනයේද හිටපු ජනාධිපතිවරයාගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළ නීතිඥ දිල්ෂාන් ජයසුරිය මහතා කියා සිටියේ,

    " මාවනැල්ල බුදු පිළිම වලට පහරදීම, වව්නතිව් පොලිස් නිලධාරින් ඝාතනය වගේ සිදුවීම් වුනේ ඔබ 2018 ඔක්තෝම්බර් මෙරට තුළ ඇතිකළ ව්‍යවස්ථා අර්බුදය තුළින් රට තුළ බිහිවු ව්‍යාකූල තත්ත්වය නිසා බව මම ඔබට යෝජනා කරනවා. " යන්නයි.

    " මම එය පිළිගන්නේ නැහැ. එක මම තනිවම ගත්තු තීන්දුවක් නෙමේ. ජනාධිපති නීතිඥයින්, විද්වතුන් වගේ ගොඩාක් පාර්ශව එකතු වෙලා තමයි ඒ සමයේ නීතිරිති, ගැසට් නිවේදන හැදුවේ. " යැයි හිටපු ජනාධිපතිවරයා ඊට පිළිතුරු දුන්නා.

    දැන් ඔබ ඒ තීරණය ගැනීමේ වගකීමත් වෙනත් අයෙකු පිට පටවන්නද හදන්නෙව් යැයි නීතිඥවරයා පෙරළා ප්‍රශ්න කළා.

    නැහැ මම ගත්තු තීරණය හරියි කියන තැන අදත් මම ඉන්නවා. ඒක දේශපාලනික තීරණයක්‍ යැයි හිටපු ජනාධිපතිවරයා එවර පැවසුවා.

    එහිදි නීතිඥ දිල්ෂාන් ජයසුරිය මහතා හිටපු ජනාධිපතිවරයාට යොමු කළ ප්‍රශ්නය වූයේ,

    " ඉකුත් වසරේ අප්‍රේල් 08 වෙද්දි මෙරටට පැමිණ සිටි ඉන්දීය ආරක්ෂක ලේකම්වරයාව ඔබ මුණගැසුනේ නැහැ කියලා සාක්ෂි දිලා තිබෙනවා නේද යන්නයි.

    ඔව් මම එහෙම කිව්වා. හැබැයි මම හොයලා බලද්දි මම දැනගත්තා මම ඔහුව හම්බවෙලා තියෙනවා කියලා. යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.

    හරි දැන් ඊයේ ඔබතුමා කිව්වානේ ඉන්දීයාවට ගියේ දරුවන් කී දෙනෙක් එක්කද මතක නැහැ කියලා. ඔබ ඊයේ ගෙදර ගිහින් මතක් කරලා බැලුවද දරුවන් කී දෙනෙක් ඔබත් එක්ක ඉන්දියාවට ගියාද කියලා යැයි නීතිඥවරයා යළි ප්‍රශ්න කළා.

    ඔව් මම ගෙදර ගිහින් මතක් කළා. මට මතක් වුණා මාත් එක්ක දරුවන් තුන්දෙනාම ගියා කියලා යැයි හිටපු ජනාධිපතිවරයා එවර පිළිතුරු දුන්නා.

    දැන් ඔය කියන 2019 අප්‍රේල් 08 වෙනිදා උදෑසන ඔබතුමා පවත්වලා තියෙනවානේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ හමුවක්.

    දැන් ඕකට එද්දිත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට අප්‍රේල් 04 විදෙස් බුද්ධි තොරතුර ලැබී තිබිලා තියෙනවා.

    ඒ වෙද්දි ඒ තොරතුර ගැන දැන සිටි එකම පුද්ගලයා ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඔබට එම තොරතුර පිළිබද දැනුම් නොදීම බරපතල රාජකාරි පැහැර හැරීමක් නේදැයි නීතිඥවරයා යළි විමසා සිටියා.

    එයට පිළිතුරුදෙමින් හිටපු ජනාධිපතිවරයා "රාජකාරිය පැහැර හැරීමක් කියලා ඒකට කියන්න බැහැ. අනික මේ ප්‍රහාරය වලක්වා නොගැනීම සහ මට ඒ පිළිබද දැනුම් නොදීම ගැන එක්කෙනෙකුට විතරක් වගකීම පවරන්න මම පැකිලෙනවා. " යැයි සදහන් කළා.

    එහෙමනම් ඔබ කියන්නේ මේ ප්‍රහාරය වලක්වා නොගැනීමට දඩුවම් කරනවානම් වගකිවයුතු බොහෝ දෙනෙක්ට දඩුවම් කළ යුතුයි කියන එක නේද? එහෙමනම් මේකට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුයි, පොලිස්පති පූජිත් ජයසුන්දරයි විතරක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම අසාදාරණ නැත්දැයි නීතිඥවරයා හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළා.

    එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඔව් එහෙම වෙන්නත් පුළුවන් යනුවෙන්.

    ඒක අසාධාරණයි කියලා ඔබතුමා පිළිගන්නවානම් ඇයි මලල්ගොඩ කමිටුවේ වාර්තාව එන්නත් කළින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුයි සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මේ ප්‍රහාරයට තනිව වගකියන්න ඕනේ කියලා ප්‍රසිද්ධියේ හංවඩු ගැහුවේ ? යැයි නීතිඥවරයා පෙරළා ප්‍රශ්න කළා.

    " ඒ කමිටු වාර්තාවයි.

    මම කරපු ප්‍රකාශයි අතර සම්බන්ධයක් නැහැ.

    මම එහෙම කළේ ප්‍රහාරයෙන් පස්සේ පැවති ආරක්ෂක කවුන්සලයේ සාකච්ඡා වෙච්ච කරුණු අනුවයි " යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.

    " මම ඔබට යෝජනා කරනවා මෙම සිදුවීමට අදාළව ඔබ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයාට දෝශාරෝපනය නොකරන්නේ ඔබ විදෙස් ගතවීමට පෙර ඔහු ඔබට මෙවැනි දෙයක් විය හැකි බව කියා තිබුණා.

    ප්‍රහාරය වීමට පෙර දිනයේ සහ ප්‍රහාරය සිදුවු දින ප්‍රහාරයට පෙරත් මේ ගැන දැනුම් දිලා තිබුණ නිසා කියලා.

    ඒ අනුව ඔබ උත්සහ කරන්නේ ඔහුට වගකීමක් නොපැවරවීම තුළින් ඔබත් මෙම සිද්ධියට අධාල වගකීමෙන් මිදෙන්න බව මම යළි යළිත් යෝජනා කරනවා යැයි නීතිඥවරයා සදහන් කළා.

    මම එය සම්පුර්ණෙන්ම ප්‍රතික්ෂේප කරනවා.

    මම එහෙම දැනගෙන ගියානම් මම රටින් පැනලා ගියා වෙන්න ඕනේ.

    කිසිම දවසක මම එහෙම දැනගෙන හිටියානම් කිසිම දවසක අවශ්‍ය පියවර නොගෙන පිටවෙලා යන්නේ නැහැ යැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

    " හරි මධුෂ්ව ඇල්ලීමේ ප්‍රශංසාව ජනාධිපතිවරයා හැටියට ඔබ ගත්තනේ, ඒ වගේම තමන්ගේ පාලන කාලයේ සිදුවෙන මේ වගේ සිද්ධි වලත් වගකීම ජනාධිපතිවරයා හැටියට ඔබතුමා ගත යුතුයි නේදැයි නීතිඥවරයා මෙහිදි විමසුවා.

    " මම එහෙම ප්‍රශංසාව ගන්නේ නැහැ.

    මට ලැබෙන්නෙම අප්‍රශංසාවනේ.

    තවදුරටත් මම කියන්නේ මේ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලෙස මට වගකීමක් ගන්න බැහැ. " යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

    එහිදි නීතිඥවරයා විමසා සිටියේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන යම් පරික්ෂණයකදි ජනාධිපතිවරයා මේ ගැන දැනගෙන ඉදලා වලක්වාගන්න පියවර ගත්තේ නැහැ කියලා ඔප්පු වුනොත් ඔහුට එරෙහිව පියවරක් ගැනීම අසාධාරණ නැහැ නේදැයි විමසා සිටියා.

    ඔව් එහෙම ඔප්පු වෙනවානම් අසාධාරණයක් නැහැ යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.

    Latest News