ටෙලිනාට්‍ය රූගත කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

නොවැ 20, 2020

    කොරෝනා ව්‍යාප්තිය හා නිර්මාණ කාර්යයන් පිළිබද සැළකිලිමත් වීමෙන් ටෙලිනාට්‍ය හා මැදිරි වැඩසටහන් වලට අදාළව සෞඛ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කෙරුණා.

    ඒ ශ්‍රී ලංකා ටෙලිනාට්‍යවේදීන්ගේ සංගමය, කලාකරුවන් සහ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය එක්ව සිදුකළ ඉල්ලීමකට අනුවයි.

    දැනට විකාශය කෙරෙන ටෙලිනාට්‍යවල ඉතිරි කොටස් රූගත කිරීම සදහා පමණක් මාර්ගෝපදේශ මාලාවක් මගින් අවසර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

    හුදෙකළා කළ හෝ නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පමණක් මෙම රූගත කිරීම් කළ හැකියි.

    එහෙත් හුදෙකළා ප්‍රදේශයක සිටින කිසිවෙකුත් මේ සදහා සහභාගි කරවා ගැනීමට හැකි වන්නේ නැහැ.

    නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති ප්‍රදේශ වලින් රූගත කිරීම් සදහා පුද්ගලයින් ගෙන්වා ගත හැකි වන්නේ තදබල ලෙසම සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වීමෙන් පමණක් බවයි මෙම උපදෙස් මාලාවේ දැක්වෙන්නේ.

    පොදුවේ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂක පුරුදු මෙහිදී ද අනුගමනය කළ යුතු වනවා.

    අත්‍යවශ්‍යම පුද්ගලයින්ගෙන් පමණක් රූගත කිරීම් සිදුකළ යුතු අතර මුඛ ආවරණ පැළඳීම, දෑත් සේදීම ආදිය ද නිවැරදිව කළ යුතුයි.

    එමෙන්ම මේ සදහා සහභාගිවන සියලු දෙනාගේ තොරතුරු ඇතුළත් ලේඛනයක් පවත්වාගෙන යා යුතුයි.

    රූගත කිරීම් නැරඹීමට බාහිර පුද්ගලයින් පැමිණීම වැළැක්විය යුතු බවද උපදෙස් මාලාවේ සඳහන්.

    මේ අතර මැදිරි වැඩසටහන්වලදී ද අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් උපදෙස් මාලාවක් නිකුත් කෙරුණා.

    හැකි සෑම විටම මුඛ ආවරණ පැළඳීම මෙන්ම දෑත් සේදීම ආදිය ද සිදුකළ යුතුයි.

    අසුන් පැනවීමේ දී මීටරයක දුරින් පිහිටන සේ ඒවා සකස් කළ යුතු බව මෙහි දැක්වෙනවා.

    Latest News