වෙරළාසන්න සමුද්‍රීය පරිසර පද්ධති වැඩි දියුණු කිරීමේ වැඩසටහනක් ඇරඹේ

නොවැ 17, 2020

    නව රජයේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍ර‍තිපත්ති ප්‍ර‍කාශයට අනුව සහ රජය මගින් ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිත ජාතික ප්‍රතිපත්තීන් මත “ස්වයංපෝෂිත ධීවර ආර්ථිකයක්” ඇති කිරිම ධීවර අමාත්‍යංශයේ ප්‍රධාන කර්තව්‍යයකි.

    එමෙන්ම එම ප්‍ර‍තිපත්ති ප්‍ර‍කාශයේ සඳහන් පරිදි එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 17 සපුරා ගැනීම උදෙසා අවශ්‍ය ක්‍රියාමාර්ග ද ගත යුතුව ඇත.

    එම ඉලක්ක අතර ජෛව විවිධත්වය රැක ගැනීමද එක් ඉලක්කයකි.

    තවද ප්‍ර‍තිපත්ති ප්‍ර‍කාශයේ දස වැදෑරුම් ප්‍ර‍තිපත්ති අතර ද “තිරසාර පරිසර කළමනාකරණය” යටතේ අනාගත පරම්පරාව වෙනුවෙන් අප පරිසරය තිරසාර ලෙස ආරක්ෂා කර ගත යුතු බව සඳහන් කරනු ලැබ ඇත.

    එමෙන්ම නව රජයේ අමාත්‍යංශ සඳහා විෂය පථයන් වෙන් කරන ගැසට් පත්‍රයට අනුව සුවිශේෂි ප්‍රමුඛතා ලෙස වෙරළබඩ ප්‍රදේශවල මත්ස්‍ය ගහනය ඉහළ නැංවීම සඳහා විද්‍යාත්මක ක්‍රම හඳුන්වාදීම පළමු කාර්යය ලෙස දක්වා ඇත.

    මේ අනුව රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ධීවර අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්දා මැතිතුමාගේ හා රාජ්‍ය අමාත්‍ය ගරු කාංචන විජේසේකර මැතිතුමාගේ මඟපෙන්වීම් හා උපදෙස් මත ධීවර කේෂ්ත්‍රයට අදාලව වෙරළාසන්න සමුද්‍රීය පරිසර පද්ධතිය, සමුද්‍රීය ජෛව විවිධත්වය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරලීම උදෙසා සමුද්‍රීය ජෛව විවිධත්වය ඉහළ නැංවිම සඳහා වෙරළාසන්න මුහුදු පත්ලෙහි කෘත‍්‍රිම උපස්ථර මත මත්ස්‍ය අභිජනන ස්ථාන ඇති කිරීම සඳහා කඩිනම් වැඩසටහනක් කිරීමට ධීවර හා ජලජ සම්පත් දෙපර්තමේමේන්ව තීරණය කර ඇත.

    ශ්‍රී ලංකා නාවික හමුදාව, ජාතික ජලජ සම්පත් පර්යේෂණ ආයතනය, සමුද්‍ර දූෂණ වැළක්වීමේ අධිකාරිය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මඟින් මත්ස්‍ය අභිජනනය සඳහා වාසස්ථාන ඇති කිරීමටත්, එමගින් මත්ස්‍ය ගහනය වැඩිකිරිමත්, ආහාරසුරක්ෂිතතාවය ඇති කිරීමටත් සංචාරක ආකර්ෂණය හැර විදේශ විනිමය ඉපයීමටත් බලාපොරොත්තුවේ.

    වෙරළාසන්න මුහුදු පරිසර පද්ධති ප්‍රධාන වශයෙන් කොරල් පර, ගල්පර සහ මුහුදු තෘණ යන කොටස් ඒකාබද්ධව නිර්මාණය වී ඇති අතර ඒ ආශ්‍රිතව නොගැඹුරු මුහුදෙහි මෙම කෘත‍්‍රිම උපස්ථර ඉදිකිරීමට අපේක්ෂිතය.

    නිවර්තන කලාපීය රටක් ලෙස මෙම පරිසර පද්ධතීන් ආශ්‍රිතව විශාල ජීවී විශේෂ සංඛ්‍යාවක් තම ජීවක්‍රියා සඳහා වන අවශ්‍යතා සම්පූර්ණ කරගනී.

    ක්ෂුද්‍ර ජීවීන්ගේ සිට විශාල මත්ස්‍යයන් දක්වා පරාසයක ජීවීන් තම නිකේතන ලෙස යොදාගන්නා මෙම කලාප මගින් එම ජීවීන්ට ආහාර, ආරක්ෂිත වාසස්ථාන සහ අභිජනන බිම් සපයයි.

    තවද මෙම උපස්තර මඟීන් පරිසරයේ සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීම මෙන්ම එහි භෞතික වටපිටාව ආරක්ෂා කර ගැනීමත් එමඟින් සමුද්‍රීය ජෛව විවිධත්වය ද ආරක්ෂා කරගත හැකිවනු ඇත.

    මෑත කාලීනව සිදුවූ ස්වභාවික විපර්යාස මෙන්ම මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වෙරළාසන්න මුහුදු පරිසර පද්ධතීන් සීඝ්‍රයෙන් විනාශයට පත්විය.

    මෙම පාරිසරික හානිය හේතු කොටගෙන රටේ ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාදෙන ධීවර, සංචාරක හා විසිතුරු මසුන් කර්මාන්තවලට ප්‍රබල බලපෑමක් එල්ල කර ඇත.

    උදාහරණයක් ලෙස මිනිසා විසින් සිදු කරන විනාශකාරී ධීවර ආම්පන්න භාවිතය, හුණුගල් ලෙස යොදාගැනීමට කොරළ් පර කොටස් ඉවත් කිරීම වැනි හේතුන් නිසා අද වන විට ජලජ ජීවින්ගේ නිත්‍ය ස්වභාවික වාසස්ථාන සැළකියයුතු ප්‍රමාණයක් නැවත ගොඩනැගිය නොහැකි පරිදි විනාශයට පත්ව ඇත.

    මෙම තත්ත්වය මත මුහුදු පරිසර පද්ධති නැවත ගොඩ නැගීම සඳහා වෙරළාසන්න කලාපයේ කෘත්‍රිම උපස්තර සහ කෘත්‍රිම බාධක පර ඇති කිරීම සිදුකළ යුතුි.

    මෙමඟින් ජලජ ජීවීන්ට අවශ්‍ය වාසස්ථාන මෙන්ම අභිජනන හා පෝෂක බිම් සැපයිම සිදුකළ හැකිය.

    ආහාර ජාල සහ ආහාර දාම නිසිපරිදි ක්‍රියාත්මකවීමෙන් ඒ ආශ්‍රිතව ජෛව ඝනත්වය හා විවිධත්වය ඉහළ නැංවිමත් මෙයින් අපේක්ෂා කෙරේ.

    මේ සඳහා ශක්තිමත් ඝන ද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ඇතුලත හිස් අවකාශයන් සහිත ද්‍රව්‍ය භාවිතා කල හැකිය.

    සිමෙන්ති හෝ යකඩ අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන සාදනු ලබන එවැනි ඇටවුම් සඳහා ඉතා ඉහල නිෂ්පාදන පිරිවැයක් දැරීමට සිදුවේ.

    එයට පිළියමක් වශයෙන් දැනට භාවිතයෙන් ඉවත්කර ගොඩබිම ඇති තෝරාගත් ව්‍යුහයන් මේ සඳහා යොදා ගැනීම සිදු කළහැකි විකල්පයකි.

    විදේශ රටවල සිදුකරන ලද මෙවැනි ව්‍යාපෘතීන් අතිශයින්ම සාර්ථකවී ඇත.

    එමෙන්ම ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජීතායතනය මඟින් ද 2017 - 2018 වර්ෂයන්හි දී මේ හා සමාන වු ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා මුහුදු තීරයේ දකුණු හා වයඔ ප්‍රදේශ ආශ්‍රීතව සාර්ථකව සිදුකර ඇත.

    එහි දී කොන්ක්‍රිට් ඇටවුම් හා විවිධ හැඩයේ යකඩ ඇටවුම් මීටර 15 - 20 ක් ගැඹුරු මුහුදු පතුලේ ස්ථානගත කිරීම සිදුකර ඇත.

    මෙම ව්‍යාපෘතිය පරික්ෂණ මට්ටමේ ව්‍යාපෘතියක් ලෙස සිදුකර ඇති අතර, එමඟින් නව මුහුදු පරිසර පද්ධතියක් සම්පුර්ණ වශයෙන් නිර්මාණය වී එහි ප්‍රතිලාභ අත් කර ගැනීම සඳහා තවත් වසර කිහිපයක් ගතවනු ඇත.

    නමුත් මෙම කෙටි කාලය තුලද එම ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරන ලද නිරික්ෂණ වල දී ව්‍යාපෘතිය සිදු කිරීමෙන් පසු එම ප්‍රදේශ තුළ ජෛව විවිධත්වය හා මත්ස්‍ය ඝනත්වයේ වර්ධනයක් දක්නට ඇති බවත් ඒ අනුව ව්‍යාපෘතිය සාර්ථකවී ඇති බවත් නිරීක්ෂණය වේ.

    භාවිතයෙන් ඉවත්කළ බහුදින ධීවර යාත්‍රා, දුම්රිය මැදිරි සහ බස්රථ සැකිලි විශාල ප්‍රමාණයක් නිකරුනේ දිරාපත් වෙමින් පවතිනු දක්නට ලැබෙන අතර, එය එම ආයතන වලට ද ගැටලුවක්ව පවතී.

    එම ද්‍රව්‍ය රඳවා තබා ගැනීම මගින් ඩෙංගු මදුරුවන් සඳහා උපස්තර සැලසීම, පරිශ්‍ර වල පවතින සීමිත ඉඩ අපතේ යාම, පරිශ්‍ර ආශ්‍රිත පරිසරයේ පවිත්‍රත්වය පිළිබඳ ගැටළු, විවීධ සමාජ විරෝධී කටයුතු සඳහා සැගවුණු අවකාශ සැලසීම වැනි ගැටළු සඳහා මෙම ඇතහැර දැමු ව්‍යුහයන් හේතු වී ඇත.

    මෙම ව්‍යාපෘතියේ අතුරුඵලයක් ලෙස මෙම ද්‍රව්‍ය පරිසර හිතකමි ලෙස ඉවත්කිරීම පරිසරයේ පිරිසුදු බවට ද ධීවර වරායන්හි ඉඩකඩ සම්පුර්ණ වශයෙන් භාවිතයට ගැනීමට ද ඉඩ ප්‍රස්ථාව හිමිවේ.

    මෙම උපස්ථර තැන්පත් කිරිමට සුදුසු සාගර ප්‍රදේශයන් අදාල පර්යේෂණ ආයතන මගින් හදුනා ගැනීම සිදු කර ඇත.

    එලෙස කටයුතු කිරිම මගින් විනාශවෙමින් පවතින ස්වාභාවික පරිසර පද්ධති නැවත ප්‍රතිස්ථාපනය කිරිමක් සිදුවේ.

    මෙම ව්‍යාපෘතිය සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (නාරා), සමුද්‍ර දූෂණ වැළක්වීමේ අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර වරාය නීතිගත සංස්ථා වැනි ආයතනවල නිර්දේශ සහ අධීක්ෂණය යටතේ අදාළ වන නිතීමය තත්ත්වයනට අනුගත වන පරිදිය.

    මේ වනවිට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් සයුරු කැණිම් යාත්‍රාව යොදාගෙන ආදර්ශ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර එහි කටයුතු සාර්ථකව ඉටුවෙමින් පවතී.

    මෙම ද්‍රව්‍ය නිසිපරිදි ස්ථාපිත කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබේ.

    එම ව්‍යාපෘතීන් පිළිබඳ පසුවිපරම් සහ ඒවා කළමනාකරණය කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ද සකස්කරනු ලැබේ.

    මෙම ප්‍රදේශයන්ගේ පසු විපරම් කටයුතු ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ මෙහෙයවිමෙන් නාරා ආයතනයේ හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහායෙන් සිදුකිරීමට අපේක්ෂිතය.

    මේ සඳහා වන ඉදිරි නීතිමය තත්වයන් පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් 1996 අංක 02 දරණ ධිවර හා ජලජ සම්පත් පනත යටතේ ක්‍රියාත්මක වීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය මඟින් වෙරළාසන්න සමුද්‍රීය ජෛව විවිධත්වය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීමත් ඔවුනට උරුම කර දීමටත් අපේක්ෂිතය.

    මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මකවීම තුළින් ඒ ආශ්‍රිත ප්‍රදේශවල සමාජීය, පාරසරික හා ආර්ථික ප්‍රබෝදයක් සිදු වෙනු ඇත.

    එමගින් ධීවර කර්මාන්තයට අමතරව දේශීය හා විදේශීය සංචාරක කර්මාන්තයට ද මහගු රුකුලක් ලැබෙන අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික තත්වයන් ඉහළ යනු ඇත.

    මෙම ව්‍යාපෘතිය සඳහා ඔබට ද දායකත්වය ලබා දිය හැකිය.

     

    Latest News