දීඝවාපී චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි (වීඩියෝ)

නොවැ 11, 2020
  • ළොස්මස්ථානවලට අයත් නැගෙනහිර පළාතේ පිහිටි වැදගත්කමින් හා විශාලත්වයෙන් ප්‍රමුඛස්ථානය ගන්නා දීඝවාපී පුද බිමෙහි ඇති චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අද 2020.11.11 දින එක්විය.

    ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරතවූ අග්‍රාමාත්‍යතුමා අනතුරුව පිරිත් සඡ්ජායනා මධ්‍යයේ චෛත්‍යයට රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භය වෙනුවෙන් මුල්ගල තැබීය.

    මෙම ඓතිහාසික අවස්ථාවේදී දීඝවාපී රාජමහා විහාරාධිපති, අම්පාර මඩකළපුව දෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක සංඝ කීර්ති ශ්‍රී බුද්ධරක්ඛිත සාම ශ්‍රී සද්ධර්ම වාගීෂ්වර, සද්ධර්ම කීර්ති ශ්‍රී මුළු දිවයිනටම සාම විනිසුරු, ශාස්ත්‍රපති පූජ්‍ය මහඔය සෝභිත නාහිමියෝ අනුශාසනවක් පැවත්වූහ.

    යුධමය වතාවරණය හමුවේ ජන ශූණ්‍ය වෙමින්, සංවර්ධනය අඩාල වූ උතුරු හා නැගෙනහිර සීඝ්‍ර සංවර්ධනය යථාවත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් කටයුතු කළ බව උන්වහන්සේ පැවසූහ.

    දීඝවාපී පුදබිම ගැසට් කිරීම මඟින් එය සංරක්ෂණය කිරීමට අග්‍රාමාත්‍යතුමා කටයුතු කළ බව සිහිපත් කළ සෝභිත නාහිමියෝ යුධ ගිනි නිවා රට එක්සේසත් කළ අග්‍රාමාත්‍යතුමාගේ එළඹෙන උපන් දිනයට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රර්ථනා කළහ.

    දිගු කාලයක් මුලුල්ලේ ස්වාභාවික හා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පරිහානියට ලක්ව ඇති දීඝවාපී පුද බිම දශක කිහිපයක් පුරාවට කිහිපවතාවක් ශ්‍රී ලංකා රජය සහ වෙනත් පාර්ශවයන් මඟින් ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කළද එම සෑම ප්‍රයත්නයක්ම අසාර්ථක වී තිබිණි.

    ත්‍රිවිධ හමුදාවේ පූර්ණ දායකත්වය සහ සිවිල් ආරක්ෂණක බලකායේ පූර්ණ ශ්‍රම දායකත්වය යටතේ පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීමට අනුව වසර දෙකක කාල සීමාවක් තුළ චෛත්‍යයේ වැඩ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීමට අපේක්ෂිතය.

    මෙම ප්‍රතිසංස්කරණ කටයුත්තට සමගාමීව චෛත්‍ය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් හට නැවතීම සඳහා විශ්‍රම ශාලා ගොඩනැගිල්ලක්ද ඉදිකිරීමට නැ‍ගෙනහිර පළාතේ පුරාවිද්‍යාම උරුමය කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති, ආරක්ෂාක ලේකම් කමල් ගුණරත්න මහතා ඇතුළු කාර්යසාධක බලකාය අදහස් කර ඇත.

    පූජා භුමිය අලංකාරවත් කිරීම සඳහා ගස් සිටුවීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකය. එය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය තුමා නා පැළයක් රෝපණය කළේය.

    දීඝවාපී චෛත්‍යයේ චූඩා මාණික්‍යය, කොත් වහන්සේ සහ විහාරගෙය නා උයන ආරන්‍ය සේනාසනයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ධන පරිත්‍යගයෙන් ඉදි කරයි.

    එසේම, සඳහිරු සෑයේ සලපතල මළුව සහ විහාරගෙයද නා උයන ආරන්‍ය සේනාසනයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, නා උයන මහා භාරකාර මණ්ඩලයේ ධන පරිත්‍යාගයෙන් ඉදි කිරීමට නියමිතය.

    ඒ සඳහා රුපියල් මිලියන 76ක චෙක් පත නා උයන මහා භාරකාර මණ්ඩලයේ ලේකම්තුමා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට භාරදීම ද මෙහිදී සිදු විය.

    මෙම අවස්ථාව සඳහා උතුර සහ නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පනාමුරේ තිලකවංශ නායක ස්වාමීන් වහන්සේ, නා උයන ආරන්යත සේනාසනයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය වැඩම කළ වදාළහ.

    රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.වීරසිංහ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ආරක්ෂක ලේකම් මේජර් ජනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, පුරා විද්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්, ජාතික බුද්ධි ප්‍රාධානී මේජර් ජනරල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

    Last modified on බදාදා, 11 නොවැම්බර් 2020 20:10

    Latest News