අනුරාධපුර දිස්ත්‍රික් මාර්ග සංවර්ධන ව්‍යාපෘති ඇරඹේ

නොවැ 06, 2020

    රට හදන "සෞභාග්‍යයේ දැක්ම" අනුව යමින් ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(05) දින ආරම්භ කෙරිණි.

    ඒ අනුව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතාගේ ඉල්ලීමකට අනුව අනුරාධපුර රාජාංගනය යාය 18 මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය.

    කිලෝ මීටර් 4.1 ක දුරකින් යුක්ත මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 100 ක මුදලක් වෙන් කර තිබේ.

    එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, කොවිඩ් - 19 ගෝලීය වසංගත තත්ත්වයක්.

    මේක ලෝකයේ බලවත්, ධනවත් කිසිදු රටකට පාලනය කර ගැනීමට නොහැකිවී තිබෙනවා.

    එවන් තත්ත්වයක පුංචි රටක් වූ ශ්‍රී ලංකාවේ අපි කොරෝනා පාලනය කර ගැනීම අතින් ඉදිරියෙන් සිටිනවා.

    ඒ නිසා තමා ලෝක සෞඛ්‍ය සංවිධානය අපේ රටට ප්‍රසාදය පල කරන්නෙ.

    කොවිඩ් - 19 තත්ත්වය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වෙලා තිබෙනවා.

    මේ නිසා ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය අවම වෙලා.

    විශේෂයෙන් සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම වගේම විදේශ ගතව සිටින අපේ "රට විරුවන්" ලංකාවට එවන විදේශ ප්‍රේෂණ අඩු වෙලා තිබෙනවා.

    මේ තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට දේශීය නිෂ්පාදන නගා සිටුවමින් අපනයන ආර්ථිකයකට රට යොමු කරමින් තිබෙනවා.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එක් අරමුණක් වී තිබෙන්නෙ ඉදිරි වසර හතර තුළ සියළුම මාර්ග සංවර්ධන කටයුතු අවසන් කිරීමයි.

    ඒ සඳහා වන ඉලක්කය සපුරාලීමට ලබන වසරේ කිලෝ මීටර් 30,000 ක ඉදිකිරීම් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

    ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට වගේම ජනතාවට සුවපහසු ලෙස ගමන් කිරීමට වඩාත් හොද මාර්ග පද්ධතියක් ලබා දීම රජයේ අරමුණ බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැසීය.

    මෙම අවස්ථාවට උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.

    Latest News