මෙරට සමස්ත කොරෝනා රෝගීන් ගණන 11,000 ඉක්මවයි - 21 වැනි මරණයත් වාර්තා වේ

නොවැ 02, 2020

    කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගයකු වැලිසර ලය රෝහලේදී මියගොස් ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (01) රාත්‍රී 8.50 ට නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    මියගිය ආසාදිතයා මහර පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

    පළමුව කළ පීසීආර් පරීක්ෂණයේදී ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන නැති අතර, ඔහු මියගිය පසුකළ මරණ පරීක්ෂණයේදී දෙවන පීසීආර් පරීක්ෂණයෙන් ආසාදිතයෙකු බව හඳුනාගෙන ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 21 වැනි කොරෝනා ආසාදිත මරණය මෙයයි.

    ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා අසාදිතයන් ගණන 397 ක්.

    මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට ඊයේ (01) පස්වරු 10.00 වනවිට එක්වූ ආසාදිතයන් 204 දෙනා සමගින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 397 ක් දක්වා ඉහළ ගියේය.

    නිරෝධායන මධ්‍යස්ථානවලින් 35 දෙනෙකු සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයන් 169 දෙනෙකු ඊයේ රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් අතරට ඇතුළත් වෙති.

    මේ දක්වා එම පොකුරේ ආසාදිතයන් ගණන 7378 ක් වන අතර, ඊයේ රාත්‍රියේදී හඳුනාගත් පිරිසත් සමඟ එය 7582 දක්වා ඉහළ ගොස් ඇත.

     

     

    පන්නල සෞබ්‍ය බල ප්‍රදේශයට අයත් ගම්මාන දෙකක් ඊයේ (01) සවස හුදකලා කල බව පන්නල සෞබ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

    පන්නල ප්‍රාදේශීය සභාවේ කම්කරු සේවයේ රාජකාරී නියුතු තිදෙනෙකුට කොරෝනා රෝගය ආසාදනයවී ඇති බවට ඊයේ(01) තහවුරු වීමත් සමග පන්නල - හියවල සහ ආසිරිගම යන ගම්මාන දෙක මෙලෙස හුදකලා කර ඇති බවත් එම කාර්යාලය පවසයි.

    මෙම ගම්මාන දෙකේ පවුල් 65 කට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වන බව සඳහන්වේ.

     

     

    කොවිඞ් - 19 වසංගතය පාලනය කිරීමේ පියවරක් ලෙස දිස්ත්‍රික් අතර සංචරණය දැඩි ලෙස සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පියවර ගෙන ඇත.

    ඒ අනුව භාණ්ඩ බෙදා හැරීම, අත්‍යාවශ්‍ය සේවා හැර සෙසු කටයුතු වලදී දිස්ත්‍රික්ක අතර සංචරණය සීමා කෙරේ.

    මේ කාලසීමාව තුළ සාමාන්‍ය පරිදි ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන ලෙසට ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පොලීසියට උපදෙස් දුන්නේය.

    කොවිඞ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (1) පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම තීරණ ගනු ලැබීය.

    ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඞ් ව්‍යාප්තිය මර්දනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී තවත් තීරණ ගණනාවක් ගෙන ඇත.

    පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යාම වෙනුවට තම නිවෙස් තුළම නිරෝධායනයට ගත් පියවර සාර්ථක එකක් බැවින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පොලීසීය සහ යුද හමුදාව යන අංශවල අධීක්ෂණය ඇතිව එය තවදුරටත් විධිමත් කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.

     

     

    මාරස්සන නගරයේ ජංගම මාළු අලෙවිකරුවෙකුට කොවිඩ් වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වීමත් සමග පාත හේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යලයේ නිළධාරීන්ගේ උපදෙස් මත ඊයේ (01) සවස සිට මාරස්සන නගරයේ සියලූ වෙළඳසැල් දින නියමයක් නොමැතිව වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත.

    අම්පිටිය තලාතුඔය මාරස්සන ආදි ප්‍රදේශ බොහොමයක මාළු බෙදා හැරීමේ ප්‍රධානියා වන මොහු පසුගිය දිනකිහිපය තුළදීම පෑලියගොඩ වෙළඳසැලෙන් මාළු ගෙනවිත් වෙළඳාමේ නිරතවී ඇත.

    විශේෂයෙන්ම මාරස්සන අවට කොළඹිස්ස, මාඋස්සාව, පස්ගම, මොරගොල්ල, පනන්වල, මුදුනකඩේ, බූටාවත්ත අම්පිටිය යන ප්‍රදේශවල මොහු මෙම දින කිහිපයේම මාළු වෙළදාම් කර ඇත.

    මේ හේතුවෙන් මේ වනවිට තලාතුඔය නගරයේ මත්පැන් අලෙවි සැල්ද වසා දමා ඇති අතර මෙම ව්‍යාපාරිකයා හා සම්බන්ධතා පැවැත්වූ සියලූදෙනාටම ස්වයං නිරෝධනය වන ලෙස තලාතුඔය පොලීසිය හා පාත හේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    Latest News