කැළණි ගඟ දෙපස අනවසර ඉදිකිරීම් සඳහා නඩු පැවරේ - අමාත්‍ය මහින්ද අමරවීර

ඔක් 23, 2020

    කැලණි ගග දෙපස පරිසර වාර්තා නොමැතිව ඉදිකර ඇති, එමෙන්ම කැලණි ගග දූෂණය වන අයුරින් අපද්‍රව්‍ය බැහැර කරන සියලු කර්මාන්තශාලා, ව්‍යාපාරික ආයතන වලට එරෙහිව නඩු පවරණ ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට දන්වයි.

    කොළඹ නගරය හා ඊට ආශ්‍රිත තදාසන්න ප්‍රදේශවල ජීවත්වන මහජනතාවට ජල අවශ්‍යතා සපුරණ ප්‍රධාන ජලමුලාශ්‍රය වන කැලණි ගග දෙපස ඇති ඇතැම් කර්මාන්ත ශාලා හා වෙනත් ව්‍යාපාරික ආයතන මගින් බැහැර කරන අපද්‍රව්‍ය ඝෘජුවම කැලනි ගගට බැහැර කිරීම නිසා එම ගග විශාල පරිසර දූෂණයකට ලක්ව ඇතැයි පරිසර සංවිධාන විසින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිලි කර තිබිණ.

    කැළණි ගග දෙපස කඩුවෙළ සිට පෑලියගොඩ පාළම දක්වා කර්මාන්ත ශාලා 7000ක් පමණ තිබෙන අතර ඉන් පරිසර වාර්තා ලබා ගෙන තිබෙන්නේ 3000ක් පමණ බව හෙලි වී තිබේ.

    මේනිසා වහාම එම කරුණු සොයා බලන ලෙස පරිසර අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දෙනු ලැබීය.

    එම උපදෙස් අනුව පසුගිය සඳුදා සිට මධ්‍යම පරිසර අධිකාරිය විසින් කණ්ඩායම් 13ක් යොදවා පුර්ණ සෞඛ්‍යාරක්ෂණ පිළිවෙත් අනුගමනය කරමින් දින හතරක සමීක්ෂණයක් ආරම්භ කළේය.

    ඒ අනුව පෙනී ගොස් ඇති කාරණා අනුව හෙළිදරව් වී ඇත්තේ ඇතැම් කර්මාන්ත ශාලා පමණක් නොව නොයෙක් ව්‍යාපාරික ආයතන හා පුද්ගලයින් පදිංචි නිවාස මගින් ද කැළණි ගගට නොයෙක් අපද්‍රව්‍ය මුදා හරින බවයි.

    මේ සම්බන්ධව සකස් කළ වාර්තාව කඩිනමින් තමන්ට බාර දෙන ලෙස දැන්වු අමාත්‍යවරයා කැළණි ගග දූෂණය කිරීමට විවිධ අපද්‍රව්‍ය බැහැර කරන සියලුම කර්මාන්ත ශාලා, පුද්ගලයින් හා ව්‍යාපාරික ආයතන වලට එරෙහිව පරිසර පනත යටතේ නඩු පවරණ ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාට නියෝග කළේය.

    එපමණක් නොව ඇතැම් කර්මාන්ත ශාලා විසින් ඉතාමත් විෂ සහිත රසායනික දුව්‍ය පවා විදිමත්ව බැහැර නොකර කැළණි ගගට බැහැර කරන බව පෙනී ගොස් ඇති නිසා එම කර්මාන්ත ශාලා පරිසර හිතකාමි ලෙස සකස් කර නොගන්නේ නම් වසා දැමීමට අවශ්‍ය පරිදි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් දැනුම් දෙනු ලැබීය.

    ඊයේ (22) පස්වරුවේ පරිසර අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

    Latest News