රාජිතට සහ රන්ජන්ට සිතාසි

ඔක් 21, 2020

    හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඇතුළු පිරිසකට ලබන 23 වැනිදා දේශපාලන පලීගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා අද සිතාසි නිකුත් කෙරුණා.

    ඒ දැනට වැඩ තහනමකට ලක්ව සිටින යුද හමුදාවේ කපිතාන් තිස්ස විමලසේන මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාලවයි .

    2012 මැයි 17 වැනිදා නාරාහේන්පිට ප්‍රදේශයේදී වසීම් තාජුඩීන් ගමන් කළ මෝටර් රථය අනතුරකට ලක්වී පිළිස්සී මිය යෑමේ සිද්ධියට නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ මෙන්ම ශිරන්ති රාජපක්ෂ සම්බන්ධ බව පවසමින් සාක්ෂී ලබා දෙන්නැයි සී.අයි.ඩීය තමාට බලපෑම් කල බව කපිතාන් තිස්ස විමලසේන මහතා සදහන් කලා.

    ඔහු පැවසුවේ තමන් දීර්ඝ කාලයක සිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීප ආරක්ෂකයා ලෙස කටයුතු කළ බවයි.

    එම හේතුව පදනම් කර ගනිමින් තමන් ලවා රාජපක්ෂවරුන්ට එරෙහිව සාක්ෂි ලබා ගැනීමට සී.අයි.ඩීයේ උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක ඇතුළු පිරිස අවස්ථා ගණනාවකදී උත්සහ කළ බවත් විමලසේන මහතා ප්‍රකාශ කලා.

    ඔහු පැවසුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කළ නිසා මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි ගොනු කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් තමා අත්අඩංගුවට ගෙන මාස 05 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.

    කරුණු සලකා බැලූ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා රාජිත සේනාරත්න, රංජන් රාමනායක, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මෙන්ම හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර යන මහත්වරුන්ට ලබන 23 ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කලා .

    Latest News