වී නිෂ්පාදනයේ වාර්තාගත ඉහළ යාමක්

ඔක් 15, 2020

    කොවිඩ් වසංගතයෙන් ලෝකයම දැඩි පසුබෑමක් ඇති කළ ද එම ව්‍යසනය හමුවේ ශක්තිමත්ව නැගී සිටි රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැක.

    ඊට උදාහරණයක් වන්නේ, මෙරට කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රය ලබා ඇති ප්‍රගතියයි. කොවිඩ් තත්වය හමුවේ වුවද, මේ වසරේ ශ්‍රී ලංකාව වී නිෂ්පාදනයේ වාර්තාගත ඉහළ යාමක් පෙන්නුම් කරන බව, ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    ඈත අතීතයේ සිටම මෙරට ජනතාවගේ ජීවනෝපාය වූයේ, කෘෂිකර්මයයි. සහලින් ස්වයංපෝෂිත රටක් ලෙස ආර්ථිකය ශක්තිමත් කිරිමට ගොවිතැන සපයන්නේ සුවිශාල දායකත්වයක්.

    වී ඇතුළුව, කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට රජය ලබාදුන් සහය මෑත කාලයේ රටේ කෘෂි ක්‍ෂේත්‍රයේ ශීඝ්‍ර වර්ධනයට හේතුවක් වී තිබේ. කොවිඩ් වසංගතයත් සමඟ මුළු ලෝකයම ආර්ථික, සමාජ හා කෘෂිකාර්මික වශයෙන් පසුබෑමකට ලක්විය.

    එහෙත්, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවලට අනුව එම වසංගතය හමුවේ වුවද, පසුගිය මහ කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3,197ක ඉලක්කයක් සපුරා තිබේ.

    යල කන්නයේ එය වී මෙට්‍රික් ටොන් මිලියන 1,840ක්. ඒ අනුව, සමස්තයක් ලෙස මේ වසරේදී වී මෙට්‍රික් ටොන් මිලියන 5,037ක අස්වැන්නක් ලැබී තිබේ. ගෝලීය කොවිඩ් වසංගත තත්වය හමුවේ, වාර්තාගත වී අස්වැන්නක් ලබා ගැනීමට හැකිවීම සුවිශාල ජයග්‍රහණයක්.

    2017 මෙරට සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2,383ක්. 2018 දී එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 3,930ක් වූ අතර, 2019 දී වී මෙට්‍රික් ටොන් මිලියන 4,592ක අස්වැන්නක් ලැබී තිබේ.

    මේ වසරේ යල-මහ දෙකන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 5,037ක්. ඒ අනුව, 2017-2020 කාල පරාසයේ රටේ යල මහ දෙකන්නයේ වී නිෂ්පාදනය දෙගුණයකින් ඉහළ ගොස් තිබේ.

    කෘෂිකර්මාන්තයෙන් ස්වයං පෝෂිතවීමට යන ගමනේදී මෙරට වී අස්වැන්න ඉහළ ගොස් ඇත්තේ, ජනතාව වැඩි වශයෙන් කෘෂිකර්මාන්තයට යොමුවීම නිසයි. රජය, කෘෂි කර්මාන්තය පිළිබඳ ක්‍රියාත්මක කරනු ලබන දූරදර්ශී වැඩපිළිවෙළ සහ ගොවි ජනතාවට ලබාදෙන සහන ඊට ප්‍රධාන හේතුවයි.

    කොවිඩ් වසංගත සමයේ මෙරට ජනතාව වෙනදාටත් වඩා කෘෂිකාර්මික නැඹුරුවක් පෙන්නුම් කිරීම මෙම ක්‍ෂේත්‍රයේ සංවර්ධනයට හිමි වූ ධනාත්මක තත්වයක්.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 ඔක්තෝබර් 2020 18:57

    Latest News