පලාත් සභා ඡන්දය එන බවට ජනපතිගෙන් ඉඟියක්

ජන 13, 2019

    ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන ලෙස ජනපති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ට දැනුම් දී තිබේ.

    ජනාධිපතිවරණයක් පිළිබඳව විවිධ කතා නිර්මාණය කරමින් මේ වන විටත් පැවැත්විය යුතුව ඇති පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව ජනාධිපතිතුමා පවසයි.

    මේ වන විට පළාත් සභා 06 ක කටයුතු අක්‍රිය වී තිබෙන අතර එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කිසිසේත් හිතකර තත්ත්වයක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අපේක්ෂා කළ අරමුණුවලට ද පටහැනි බව සඳහන් කළේය. එබැවින් ජනාධිපතිවරණයක් ගැන කථා කරන අය ඊට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් විය යුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා තමන් ඒ පිළිබඳ මේ වන විටත් මැතිවරණ කොමසාරිස්වරයා සමග සාකච්ඡා කර තිබෙන බව ද කියා සිටියේ ය.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ප‍්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ පළාත් මට්ටමින් අදාළ සංවිධායකවරු කැඳවා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡා මාලාවේ ඌව සහ මධ්‍යම පළාත් සංවිධායකවරු සමග හමුවට අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සදහන් කළේ ඉතා ඉක්මනින් පළාත් සභා මැතිවරණයක් පවත්වා ජනතාවගේ ඡන්ද අයිතිය ලබාදිමට කටයුතු කළ යුතු බවයි. එමෙන්ම නව අමාත්‍ය මණ්ඩලය පත් කර සති 03 කට වැඩි කාලයක් ඉක්ම ගිය ද ඒ ඒ අමාත්‍යාංශවලට අදාළ සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතන සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් නොකිරීම පිළිබඳව ඇතැම් පාර්ශ්වයන් ජනාධිපති කාර්යාලයට ඇගිල්ල දිගු කරමින් සිටින බව පැවසු ජනාධිපතිතුමා එය සම්පූර්ණයෙන් වැරදි මතයක් බව කියා සිටියේ ය.

    මෙම තත්ත්වයට අදාළ අමාත්‍යාංශ වගකිව යුතු අතර, නිර්දේශ අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් ජනාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් නොකිරීම මෙම ප‍්‍රමාදයට හේතු වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මේ පිළිබඳ කිසිදු වගකීමක් ජනාධිපති කාර්යාලය භාර නොගන්නා බව සඳහන් කළේය. කෙසේ වෙතත් සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමේ දී ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව හරහා අනිවාර්යයෙන් එම කටයුතු සිදු විය යුතු බව ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, පා.ම ඩිලාන් පෙරේරා, ඌව පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.

    Latest News