දේශපාලන පළිගැනීම් කොමිසමට පැමිණි අනුර කුමාර

සැප් 21, 2020

    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා, අද පෙරවරුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණියේය.

    ඒ් සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ  ජනරාල් ඩී.ඒස්. ජයවීර මහතා කළ පැමිණිල්ලක් වෙනුවෙන්. සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ලද දේශීය සංචාරකයින් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් සම්බන්ධයෙන්, යහපාලන ආණ්ඩු සමයේ දී අසත්‍ය චෝදනා ගොනුකර නඩු පැවරීම, දේශපාලනිකව පළිගැනීමේ චේතනාවෙන් සිදුකර ඇති බවටයි ඩී.ඒස්. ජයවීර මහතා කොමිසමට පැමිණිලි කර ඇත්තේ.  

     

    මීට අමතරව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ද අද කොමිසම හමුවට පැමිණියේය.මේ අතර බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට ලබන 28 වැනිදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි, සිතාසි නිකුත් කෙරිණ.

     

    ඒ්, නාවික හමුදා බුද්ධි අංශයේ හිටපු සුළු නිලධාරී ගාමිණි සෙනෙවිරත්න සහ ප්‍රධාන සුළු නිලධාරී කේ.පී. චමින්ද යන මහත්වරුන් කළ පැමිණිලිවලට අදාළවයි.

     

    “ස්කයිප්” තාක්ෂණය භාවිත කරමින් අමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාගෙන් පැමිණිල්ලක ප්‍රකාශ සටහන් කරගැනීමට, දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද නියෝග කළේය.  වික්‍රමසූරිය මහතා මේ වනවිට අමෙරිකාවේ පදිංචිව සිටින බැවින්, අදාළ සාක්ෂි විභාගය ස්කයිප් තාක්ෂණය ඔස්සේ සිදු කිරීමටයි නියෝග කෙරුණේ.  ලබන මස පළමු වැනිදා ඒම ප්‍රකාශය සටහන් කරගැනීමට නියමිතයි.

     

    මුදල් වංචා කිරීමේ චෝදනාවකට මාස 4ක් සිරගත වීමෙන් තමා දේශපාලන පළිගැනීමකට ලක් වූ බවට ජාලිය වික්‍රමසූරිය මහතා කොමිසමට පැමිණිලි කර තිබේ. 

    Latest News