මව්වරුන් සමඟ සිරගත දරුවන් 46කගේ වාර්තාව අගමැතිට (වීඩියෝ)

සැප් 15, 2020
  • දරුවන් 46 දෙනෙකු සමඟ සිරගතව සිටින මව්වරුන්  පිළිබඳ වාර්තාව අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙත බාරදෙනු ලැබීය.

      අග්‍රාමාත්‍යවරයා වාර්තාව බාරදුන් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට උපදෙස් දුන්නේ, එම වාර්තාවේ සඳහන් කරුණුවලට අදාළව දරුවන් සම්බන්ධයෙන් කළ හැකි විශේෂ වැඩසටහනක් සොයා බලන ලෙසයි.  ඔවුන්ට නිදහස ලබාදීමට හැකි නෛතික පසුබිම සොයා බලන ලෙස ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

     

    ජාතික පුවත්වතක පළ වූ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ දරුවන් 46 දෙනෙකු සමඟ සිරගතව සිටින මව්වරුන් පිළිබඳ වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත බාරදෙනු ලැබුවේ, අරලියගහ මන්දිරයේදී.

     

    මේ හමුවට එක්ව සිටි බන්ධනාගාර හා පුනරුත්ථාපනයට අදාළ විෂය බාර ප්‍රධානීන් සමඟ අග්‍රාමාත්‍යවරයා, දැනට බන්ධනාගාර තුළ පවතින දුෂ්කරතා සම්බන්ධයෙන් ද සාකච්ජාවක නිරත විය.

     

    අගමැතිතුමා රාජ්‍ය අමාත්‍යවරියට එහිදී වැඩිදුරටත් උපදෙස් ලබාදුන්නේ, රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේදී ඔවුන් නිසි ක්‍රමවේදයක් යටතේ වැඩබිම්වලට යොමු කිරීමට පියවර ගන්නා ලෙසයි.

     

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳවියන් ගොවිපොළ හා කර්මාන්ත ශාලාවලට යොමු කර නිසි පුනරුත්ථාපන ක්‍රමවේදය සපිරූ යහපත් පුද්ගලයින් ලෙස සමාජගත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් අධිකරණ අමාත්‍යාංශය සමඟ සාකච්ජා කර සකස් කරන ලෙස ද උපදෙස් දෙනු ලැබීය.

     

    සිරකරු සුබසාධක දිනය වෙනුවෙන් නිකුත් කරන ලද සමරු කොඩිය අග්‍රාමාත්‍යවරයා වෙත පැළඳවීම ද අරලියගහ මන්දිරයේ දී අද සිදු කෙරිණ.

     

    ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ සිරකරු සුබසාධක සංගමයේ හිටපු උප සභාපති ආර්.ඒ.ඩී. සිරිසේන මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙත සමරු කොඩිය පැළඳවීය.

     

    කොඩි අලෙවි කිරීමෙන් ලැබෙන මුදල් සෘජුවම සිරකරු සුබසාධනය වෙනුවෙන් වැය කිරීමට නියමිතයි.  බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on අඟහරුවාදා, 15 සැප්තැම්බර් 2020 20:41

    Latest News