බෞද්ධ සාහිත්‍ය උත්සවය කොළඹ දී

සැප් 15, 2020

    සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 14 වැනි වරට සංවිධාන කළ, බෞද්ධ සාහිත්‍ය උත්සවය කොළඹ දී අද (15) සවස පැවැත්විණ.

    ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන්. කොළඹ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේ සංවිධාන කර තිබූ උත්සවයේ මූලාසනය හොබවන ලද්දේ පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් විසින්.  2019 වසරේ රචිත බෞද්ධ කෘති 12ක් මෙහිදී ඇගයීමට ලක් කෙරිණ.  එය සිදු කෙරුණේ ශාස්ත්‍රීය, පර්යේෂණ, පරිවර්තන හා නව ප්‍රබන්ධ යන අංශ යටතේ.  

     

    මෙරටට කීර්තියක් අත්කරදුන් මහාචාර්ය ගුණපාල මලලසේකර, ප්‍රකට චිත්‍ර ශිල්පී සෝලිස් මැන්දිස් සහ පුරා විද්‍යාව සඳහා කළ මෙහෙය ඇගයීම වෙනුවෙන් වලිංසිහ හරිස්චන්ද්‍ර යන තිදෙනා සිහිකරමින් විශේෂ සම්මාන තුනක් පිරිනැමීම ද සිදු කෙරිණ.

     

    බෞද්ධ මුද්දර ඉතිහාසය, ග්‍රන්ථය සහ බෞද්ධ සාහිත්‍ය සමරු කලාපය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වන ලද්දේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින්. 

     

    බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා කළ මෙහෙවර සහ වසර 40ක බොදු මහා සමුළුවේ යාවජීව සාමාජිකත්වය දැරීම අගයමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ද මෙහිදී අගැයීමට ලක් කෙරිණ.  මහා සංඝරත්නය සහ විදුර වික්‍රමනායක, සරත් වීරසේකර යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News