ජාතික බුද්ධි ප්‍රධානියාගෙන්, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂ උපදෙස් ගෙන නැහැ (වීඩියෝ)

සැප් 15, 2020
  • පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ තමා ජාතික බුද්ධි ප්‍රධානියා වුව ද ඒ වනවිට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂව සිටි නිලන්ත ජයවර්ධන මහතා තමාගේ කිසිදු අවස්ථාවක උපදෙස් නොගත් බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා පවසයි.

    ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ සාක්‍ෂි දෙමින් ඔහු කියා සිටියේ, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂවරයා වෘත්තීමය ගනුදෙනු කළේ තමන් සමඟ නොව ආරක්‍ෂක ලේකම්වරයා සමඟ බවයි.

    විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා ඊයේ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදුන්නේ පස්වැනි දිනටයි. එහිදී පාස්කු ප්‍රහාරය පිළිබඳව විදෙස් බුද්ධි අංශයකින් කර තිබූ පළමු පූර්ව දැනුවත් කිරීම සම්බන්ධයෙන් එවක රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා ජාතික බුද්ධි ප්‍රධානියා වූ සිසිර මෙන්ඩිස් මහතාට එවූ ලිපිය පිළිබඳ පළමු වරට ප්‍රශ්න කරනු ලැබීය. මෙන්ඩිස් මහතා එහිදී කියා සිටියේ “ටොප් සීක්‍රට්“ යනුවෙන් සඳහන් කළ අදාළ ලිපිය පසුගිය වසරේ අප්‍රේල් 08 වැනි දින පෙරවරුවේ තමන්ට ලැබුණු අතර, එහි සහරාන් හෂීම් ප්‍රමුඛ ජාතික තවුහිද් ජමාද් සංවිධානය නුදුරේදීම එල්ල කළ හැකි ප්‍රහාරයක් පිළිබඳ සඳහන් වූ බවයි.

    රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්‍ෂිකාර මෙන්ඩිස් මහතා කුමන ආගම් භක්තිකයෙකු ද යන්න විමසා සිටියේය. ඊට පිළිතුරු දෙමින් සිසිර මෙන්ඩිස් මහතා කියා සිටියේ, තමන් හොඳ බෞද්ධයෙකු වන අතර තම බිරිඳ රෝමානු කතෝලික බවයි.

    විශේෂ අවස්ථාවලදී සිය බිරිඳව දේවස්ථානයට රැගෙන යන්නේ දැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය යළි විමසීමක් කළාය.

    එම ප්‍රශ්නයට මෙන්ඩිස් මහතා “ඔව්“ යනුවෙන් පිළිතුරු දුන්නේය. එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය යළි විමසා සිටියේ, අප්‍රේල් 08 ලද තොරතුරේ වැදගත් පල්ලි ප්‍රහාර යේ ඉලක්කය විය හැකි බවට සඳහන් වූ පසුබිමක ඔබ ඒ සම්බන්ධයෙන් ගත් පියවර කුමක් ද යන්නයි.

    එයට පිළිතුරු දෙමින් හිටපු ජාතික බුද්ධි ප්‍රධානියා ප්‍රකාශ කළේ තමා අප්‍රේල් 08 පෙරවරුවේ ලිපිය ලද වහාම එවකට ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හමුවීමට උත්සාහ කළ ද ඔහු ඒ වනවිට දිවයිනට පැමිණ සිටි ඉන්දීය ආරක්‍ෂක ලේකම්වරයා සමඟ සාකච්ජාවක නිරතව සිටි බැවින් එම ප්‍රයත්නය ව්‍යර්ථ වූ බවයි.

    කෙසේ වුවද, එදිනම පස්වරුවේ තමා හේමසිරි ප්‍රනාන්දු මහතා හමුවී රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂවරයා ලබාදී තිබූ තොරතුර පිලිබඳ දැනුවත් කළ බව මෙන්ඩිස් මහතා කියා සිටියේය.

    එහිදී හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා “හෙට බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේ නිලන්තට මේක ගන්න කියමු“ යනුවෙන් තමන් සමඟ පැවසූ බව ද මෙන්ඩිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළේ බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදී අදාළ තොරතුර සාකච්ජාවට බඳුන් කරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂවරයාට දැනුම් දුන්නේ ද යන්නයි.

    තමන්ට ඒ පිළිබඳ දැනුම්දීම අමතක වුවද, ඔහු වෙත පළමුවෙන් ලද බුද්ධි තොරතුර සාකච්ජාවට බඳුන් කිරීම රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂවරයා සතු වගකීමක් බව මෙන්ඩිස් මහතා ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

    ජනාධිපති කොමිසම සාක්‍ෂිකරුගෙන් නැවත ප්‍රශ්න කළේ අදාළ තොරතුර සාකච්ජාවට බදුන් කළ යුතු බව අප්‍රේල් 09 බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් නොකළේ මන්ද යන්නයි.

    එහිදී ද මෙන්ඩිස් මහතා කියා සිටියේ, සාම්ප්‍රදායිකව බුද්ධි තොරතුරු ලද නිලධාරීන් තමන් සතු තොරතුරු බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේ සාකච්ජාවකට බඳුන් කිරීම සිදුවන බැවින් මෙම තොරතුර විශේෂයෙන් න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමක් සිදු නොකළ බවයි.

    රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය යළි විමසා සිටියේ, අප්‍රේල් 08 පස්වරුවේ නිලන්ත ජයවර්ධන මහතා ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාට දුරකතන ඇමතුමක් ලබාදුන්නේ ද යන්නයි.

    එදින පස්වරුවේ ජයවර්ධන මහතා තමන් දුරකතනයෙන් අමතා සහරාන් සම්බන්ධයෙන් එවූ වාර්තාව පිළිබඳ විමසූ බවත්, සහරාන් නීති විරෝධි ලෙස රටින් පිටකිරීමට දේශපාලනඥයෙකුගේ සහෝදරයෙකු සම්බන්ධ බවට නම කියවීම මගින් මෙය “පොලිටිකල් ඉෂූ“ එකක් වෙන්නට පුළුවන් යැයි ජයවර්ධන මහතා පැවසූ බවත් සිසිර මෙන්ඩිස් මහතා කොමිසම හමුවේ සඳහන් කළේය.

    කෙසේ වෙතත් අදාළ මුල් බුද්ධි තොරතුර එවන ලද තොරතුරුකරු කවුරුන් ද යන්න ජයවර්ධන මහතා තමාට නොපැවසූ බව ප්‍රකාශ කළ මෙන්ඩිස් මහතා එය විදේශ බුද්ධි අංශයක තොරතුරුකරුවෙක් එවන ලද බව තමන් දැනගත්තේ ද මෙම ජනාධිපති කොමිසමේ සාක්‍ෂි විමසීම අසා සිටීමෙන් බව කියා සිටියේය.

    මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා මුල් බුද්ධි තොරතුර එලෙසින්ම ඔබට යොමු කිරීම තුළින් ඔබෙන් යම් උපදෙසක් බලාපොරොත්තු වුණා නොවේද යන්නයි.

    එයට පිළිතුරු දෙමින් හිටපු ජාතික බුද්ධි ප්‍රධානියා පැවසුවේ, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂ මට කියලා වැඩ කළේ නැහැ. මම ජාතික බුද්ධි ප්‍රධානියා වුණාට ඔහු සිටියේ මා යටතේ නෙමෙයි. ඔහු සිටියේ, ආරක්‍ෂක ලේකම් යටතේ.

    ඔහු කරන්නේ මොනවාද කියලා මම දන්නේ නැහැ. මොකද මට කියලා නෙමෙයි ඔහු වැඩ කරන්නේ. ඉතිං ඔහුට දෙන්න ඕන උපදෙස් මොනවාද කියලා මම දන්නේ නැහැ. අනික රටේ බුද්ධි තොරතුරු සපයන ප්‍රධානතම ආයතනය භාරව ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඔහු. ඔහු මගෙන් උපදෙස් බලාපොරොත්තු විය යුතු නැහැ. ඔහු කිසිදාක මගෙන් උපදෙස් ලබාගෙනත් නැහැ. යනුවෙන් පැවසුවේය.

    මෙහිදී ජනාධිපති කොමිසමේ සාමාජික විශ්‍රාමික අභියාචනාධිකරණය විනිසුරුවරයෙක් විමසා සිටියේ, වඩා වැදගත් තනතුර ජාතික බුද්ධි ප්‍රධානියා ද, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂක ද යන්නයි.

    “ස්වාමීනි, ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස මම කළේ සම්බන්ධීකරණ කටයුත්ක පමණයි. නමුත් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂ කියන්නේ රටේ බුද්ධි තොරතුරු සම්බන්ධ ප්‍රමුඛතම ආයතන භාර නිලධාරියා. ඔහුට රට වටේම තොරතුරුකරුවන් ඉන්නවා“ යනුවෙන් සිසිර මෙන්ඩිස් මහතා ඊට පිළිතුරු ලබා දුන්නේය.

    Last modified on අඟහරුවාදා, 15 සැප්තැම්බර් 2020 20:13

    Latest News