යහපාලන ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් සහරාන් සමඟ සාකච්ජා කරලා (වීඩියෝ)

සැප් 12, 2020
  • යහපාලන ආණ්ඩුව ස්ථාපනයට දායක වූ දේශපාලන නියෝජිතයන් පිරිසක් සහරාන් හෂීම් සමඟ දීර්ඝ සාකච්ජාවක නිරත වන වීඩියෝ පටයක් පිළිබඳ තොරතුරු හෙළිදරව් වී තිබේ.

      පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ දී මෙය හෙළි වී ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසු අන්තවාදී මුස්ලිම් සංවිධාන 6ක් තහනම් කරන ලෙසට රාජ්‍ය හා යුද හමුදා බුද්ධි අංශ එවක ආරක්‍ෂක ලේකම්වරයාට දැනුම් දුන්නද, ඒ අතරින් මේ වනවිට තහනම් කර ඇත්තේ, සංවිධාන 3ක් බව ද කොමිසමේ දී හෙළිදරව් වී තිබේ.

    සිව් වැනි දිනටත් සාක්‍ෂි ලබාදීම සඳහා ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා, ඊයේ කොමිසමට පැමිණියේය.  ජාතික තවුහිද් ජමාද් සංවිධානය, ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සංවිධානය සහ විලයාත් අත් සෙයිලානි යන සංවිධාන තහනම් කිරීමට පියවර ගත් බව ඔහු කොමිසම ඉදිරියේ කියා සිටියේය.

    ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා අදාළ පාර්ශ්වවලින් විමසා සිටියේ, ප්‍රහාරයට පසු බුද්ධි අංශ ලබාදුන් එම සංවිධාන පිළිබඳ තොරතුරුවලට අමතරව, යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ මණ්ඩලය තවත් සංවිධාන තුනක් නම් කර තිබුණේද යන්නයි.  ඕල් සිලෝන් තවුහිද් ජමාද්, ශ්‍රී ලංකා තවුහිද් ජමාද් සහ සිලෝන් තවුහිද් ජමාද් යන සංවිධාන තුන ඒ සඳහා නම්කර තිබූ බව එහිදී සඳහන් කෙරිණ.

    එම සංවිධාන තහනම් නොකිරීමට කටයුතු කළේ මන්දැයි විනිසුරුවරයා මෙහිදී ප්‍රශ්න කළ අවස්ථාවේ, සිසිර මෙන්ඩිස් මහතා කියා සිටියේ, ඒ පිලිබඳව අදාළ අංශ දැනුවත් කළ ද එම සංවිධානවලින් තර්ජනයක් නැති බව ඔවුන් පැවසූ බවයි.

    සහරාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම්වරයා හමුවී සාකච්ජා කිරීමට සිසිර මෙන්ඩිස් මහතාට අවස්ථාව ලැබුණේ දැයි සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළ අතර, මෙන්ඩිස් මහතා දුන් පිළිතුර වූයේ, පොලිස්පතිවරයා එය කළ යුතු වුවත්, එම ක්‍රියාමාර්ග නොගත් බවයි.

    යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ සංවිධානයෙන් 2015 වසරේදී මහ මැතිවරණයට ඉදිරිපත්ව පරාජය වූ අපේක්‍ෂකයෙකු වන මොහොමඩ් මුස්තාෆා නමැත්තා ඊයේ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදීමට කැඳවා තිබිණ.

    මෙහිදී ඔහු සමඟ නැගෙනහිර පළාත් සභාව නියෝජනය කළ මුස්ලිම් කොංග්‍රසයේ හිටපු මන්ත්‍රී සිබ්ලි ෆාරුක් යන අය සමඟ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව ක්‍රියාත්මක කළ සහරාන් හෂිම් සමඟ සාකච්ජාවක නිරත වන වීඩියෝ පටයක් කොමිසම හමුවේ ප්‍රදර්ශනය කෙරිණ.

    එහි දර්ශනය වූයේ ඔවුන් තිදෙනාට අමතරව, සහරාන් හෂීම්ගේ සොහොයුරු ෂෙයින් මොහොමඩ් යන අය ද එම සාකච්ජාවට එක්ව ඇති බවයි.  එම වීඩියෝ පටය විනාඩි 30කට ආසන්න කාලයක් රූගත කර ඇති අතර, එම කොටස පමණක් සාක්‍ෂිකරු ඉදිරියේ කොමිසම විසින් ප්‍රදර්ශනය කරනු ලැබීය. එම සාකච්ජාව සිදුව ඇත්තේ දෙමළ බසින්.  


    එහිදී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට, අරාබියෙන් ලැබී තිබූ රියාල් මිලියන එකක පමණ මුදලක් සම්බන්ධයෙන් සහරාන් හෂිම් සහ සිබ්ලි ෆාරුක් සංවාදයක යෙදෙන අතර, එම මුදල හිස්බුල්ලාගේ දේශපාලන කටයුතු සඳහා අරාබියෙන් ලැබෙන හෝ හිරා පදනමෙන් ලැබෙන ඒවා දැයි සාකච්ජා කෙරේ.

    කොමිසමේ දී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය, අබ්දුල් රහමාන්ගෙන් ප්‍රශ්න කර සිටියේ, සිබ්ලි ෆාරුක්, සහරාන් හෂීම් හමුවුයේ ඇයිද යන්නයි.  ඔහු කියා සිටියේ, සහරාන්ගේ කාර්යාලයේ පැවති මෙය දේශපාලන සාකච්ජාවක් වූ බවයි.

    Last modified on සෙනසුරාදා, 12 සැප්තැම්බර් 2020 20:03

    Latest News