රට පුරා වැව් 5,000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණයට

සැප් 09, 2020

    පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5,000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.

    ඒ සමග දිවයින පුරා ඇති පුරන් කුඹුරු අක්කර 120,000ක් ආශ්‍රිතව “ජාතික ආහාර නිෂ්පාදන දායකත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. වැව් පිළිසකර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට සිවිල් ආරක්ෂක බලකාය සහාය කර ගැනේ. ග්‍රාමීය කුඹුරු, ආශ්‍රිතව වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී යෝජිත වැඩසටහන් පුළුල්ව විමර්ශනය කෙරිණ.

    “මින් පෙරත් වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. එය විද්වතුන්ගේ සහ ජනතාවගේ බලවත් දෝෂ දර්ශනයට ලක් වුණා. ඊට හේතුව වැව් හාරා ගැඹුරු කළත් ජලය රඳවා ගැනීමේ පුරාණ තාක්ෂණ සහ විද්‍යාත්මක ක්‍රම භාවිත නොකිරීම. එවැනි අඩු පාඩු මග හරිමින් පොදු නිර්ණායකයක් යටතේ ඒ ඒ ප්‍රදේශවලට සහ වැව්වලට ආවේණික ක්‍රමයකට ප්‍රතිසංස්කරණ වැඩ කළ යුතුයි”. ජනාධිපතිතුමා පැහැදිලි කළේය.

    වැව් ගොඩවීමෙන් ඒවායේ ධාරිතාව අඩු වී තිබේ. ඉවුරු කැඩී ගිය වැව් විශාල සංඛ්‍යාවක් ඇත. මහ කන්නය ඉලක්ක කොට ගෙන ඒවා කඩිනමින් පිළිසකර කිරීමේ අවශ්‍යතාව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

    කුඹුරු වගාව සඳහා පමණක් නොව පානීය ජල සම්පාදනය හා සෙසු වාරි අවශ්‍යතා සපුරාලීමට ද වැව් ජලය භාවිත කිරීමේ හැකියාව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබීය.

    වාරිමාර්ග පද්ධතියෙන් නඩත්තු වන කෘෂි ඉඩම් පරිහරණ රටාවක් පිළිබඳව ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව සමීක්ෂණයක් කර ඇත. ඉන් අනාවරණය වූ තොරතුරු පදනම් කර ගනිමින් මනා ජල කළමනාකරණයක් ඇතිව මැද කන්න සහ අතුරු කන්නවලදී හඳුනාගත් කෘෂි බෝග 17 ක් වගා කිරීමට සැලසුම් කර තිබේ.

    වැව් ප්‍රතිසංස්කරණය, වැව් ආශ්‍රිතව කර්මාන්ත ආරක්ෂාවන අයුරින් කළ යුතුය. අනුබද්ධ ආයතන සහ ගොවි සංවිධාන සමග එකඟතාවයෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. වැව් ප්‍රතිසංස්කරණයට සමගාමීව ඇල වේලි ඇතුළු වාරි පද්ධතිය ද ප්‍රතිසංස්කරණයට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    වගා ජල සම්පාදනය සහ පානීය ජල සම්පාදනය අරමුණු කොට සැලසුම් කළ “උතුරු මැද මහ ඇල” සහ “වයඹ ඇල” ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමේ අවශ්‍යතාව අද රැස්වීමේ දී සාකච්ඡාවට ලක් විය. ඒ යටතේ උතුරු මැද හා වයඹ පළාත්වල ග්‍රාමීය වැව් 1500ක් ආශ්‍රිතව හෙක්ටයාර් 80,000ක් දෙකන්නයේම වගා කිරීමට අපේක්ෂිතය.

    දිවයිනේ වාර්මාර්ග පද්ධති සහ ගංගා ආශ්‍රිතව සියලු වන රක්ෂිත මාස 06ක් ඇතුළත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සාකච්ඡාවට ලක් වූ තවත් මාතෘකාවකි.

    රක්ෂිත තුළ ඇති කුඩා වැව් 500ක් වන සතුන්ගේ ප්‍රයෝජනය පිණිස කඩිනමින් ප්‍රතිසංස්කරණයට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. ඒ සඳහා වාරිමාර්ග, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව වසරක වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

    වාරිමාර්ග ක්ෂේත්‍රයේ දිගු කලක සිට පවතින ඉංජිනේරු සහ කාර්මික නිලධාරී ශ්‍රේණිවල පුරප්පාඩු නොපමාව පිරවීමේ අවශ්‍යතාව ද අවධානයට ලක් විය.

    නව කෘෂි තාක්ෂණය හඳුන්වාදෙමින් තරුණ ව්‍යවසායකයන් 500ක් කාබනික කෘෂිකර්මයට යොමු කිරීම පිණිස සැලසුම් කළ “තරුණ ගොවි සෞභාග්‍යා, කාබනික ගොවිපල වැඩසටහන” ද මෙහිදී විමර්ශනය කෙරිණ. මාදුරු ඔය දකුණු ඉවුරේ අක්කර 5000ක් ආවරණය වන පරිදි ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ. ඊට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනයට එකඟත්වය පළ විය.

    අමාත්‍ය චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල මෙන්ම රේඛීය ආයතනවල නිලධාරීහූ සහ ගොවි සංගම් නියෝජිතයෝ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

    Latest News