ගිනිගත් නෞකාවේ ඩීසල් කාන්දුවක් (වීඩියෝ)

සැප් 08, 2020
  • “එම් ටී නිව් ඩයමන්ඩ්“ නෞකාවට කිලෝ මීටරයක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ ඩීසල් ඉන්ධන පැල්ලමක් නිරීක්‍ෂණය වී ඇතැයි, ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

    එය, නෞකාවේ භාවිතයට යොදා ගන්නා ඩීසල් කාන්දුවීම හේතුවෙන් ඇති වූවක් බවට විශ්වාස කෙරේ. නෞකාවේ පසුපස කොටසේ ඇති වූ ගින්න පාලනය සඳහා ආපදා කණ්ඩායම් විසින් පසුගිය දින කිහිපය පුරා නෞකාවට මුහුදු ජලය ඉසිනු ලැබීය. එමගින් ජලය එකතුවීම නිසා නෞකාවේ පිහිටීම වෙනස් වී පිටුපසට මඳක් බරවීම හේතුවෙන් ගබඩා කර තිබූ ඩීසල් මුහුදු ජලයට මිශ්‍ර වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

    අයහපත් කාලගුණය හේතුවෙන් යළි වර්ධනය වූ නෞකාවේ ගින්න සාර්ථක මට්ටමකට පාලනය කිරීමට ආපදා කළමනාකරණ කණ්ඩායම් සමත් වී තිබේ.  නෞකාව පවතින්නේ සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 28ක් පමණ නැගෙනහිර මුහුදේ.  අද දිනයේ ද දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 500ක් ගුවනින් මුදා හරිනු ලැබීය.  නාවික හමුදාවේ ඉල්ලීම පරිදි ගුවන් හමුදාව මේ වනවිට දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4,500ක් ගින්න පාලනයට යොදා තිබේ.

    ආපදාවට පත් නෞකාවේ කාර්ය මණ්ඩලයේ 20 දෙනා අද හම්බන්තොට වරාය වෙත රැගෙන එනු ලැබූහ. ඔවුන් හුදකලා කර තැබීමේ මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නියමිතයි.  පීසීආර් පරීක්‍ෂණය සඳහා ජෛව සාම්පල ලබාගත් බව ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කළේය.

    නෞකාව ගිනි ගැනීමෙන් සාගර පරිසරයට සිදුවූ බලපෑම තක්සේරු කිරීම සඳහා ජල නියැදි පරීක්‍ෂා කිරීමට පරීක්‍ෂණ කණ්ඩායමක් උදේ එම ස්ථානයට පැමිණියේය.

    ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනය, ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය හා රුහුණු විශ්වවිද්‍යාලයේ නිලධාරීන් පිරිසක් ඊට එක්වූහ.

    මේ අතර, නීතිපතිවරයා සමඟ සහ සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති හා වෙළෙඳ නැව් ආයතනයේ අධ්‍යක්‍ෂවරයා අතර සාකච්ජාවක් අද පැවැත්විණ.  එහිදී, නෞකාවේ ගින්න පාලනය කළමනාකරණය සම්බන්ධයෙන් සාකච්ජා කර තිබේ.

    නෞකාව, සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 30ක් පමණ වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන ආපදා කළමනාකරණ කණ්ඩායම් මේ වනවිටත් එහි ගින්න නිවා දැමීමට ක්‍රියාකරමින් සිටී. 

    Last modified on අඟහරුවාදා, 08 සැප්තැම්බර් 2020 20:33

    Latest News