මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ඉල්ලූ බව හෙළි වෙයි (වීඩියෝ)

සැප් 08, 2020
  • මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බවට යෝජනාවක් පැවති රජයට ඉදිරිපත් කළ බව, මුස්ලිම් කොංග්‍රස යේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ ඊයේ ප්‍රකාශ කළේය. 

    ඔහු කියා සිටියේ, මුස්ලිම් කොංග්‍රසය වර්තමානයේ ද එම මතයේ පසුවන බවයි.

    මුස්ලිම් ජනතාවට වෙනම කලාපයක් අවශ්‍ය බවට කාලයක් තිස්සේ සිදුකරන ඉල්ලීම 2015 ජනාධිපතිවරණය අවසානයේ එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළ බව, රවුෆ් හකීම් මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

    පාස්කු ප්‍රහාරයෙන් පසු සායින්දමරුදු නිවසක සිදුවූ පිපිරීම් මාලාවෙන් මියගිය සහරාන් හෂිම්ගේ සොහොයුරු රිල්වාන් හෂිම් සමඟ රාවුෆ් හකීම් මහතා ඇතුළු මුස්ලිම් කොන්ග්‍රසයේ පිරිසක් සිටින ජායාරූප පෙළක් කොමිසම හමුවේ ප්‍රදර්ශනය කෙරිණ.

    එහිදී සාක්‍ෂි දෙමින් ශ්‍රී ලංකා  මුස්ලිම් කොංග්‍රසයේ නැගෙනහිර පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී සිබ්ලි ෆාරුක් මහතා කියා සිටියේ, ඒවා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා 2015 මහ මැතිවරණයෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කිරීමත් සමඟ ඇති වූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලිදී තුවාල ලැබූ පාක්‍ෂික ගර්භනී කාන්තාවක බැලීමට මඩකලපුව මහ රෝහලට ගිය අවස්ථාවේ ගත් ජායාරූප පෙළක් බවයි.

    එම ඡායාරූපවල සිටින මොහොමඩ් ෂියාඩ් නමැති කාත්තන්කුඩිහි නාගරික මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේ, රාවුෆ් හකීම් මහතා රෝහලට ගියේ, සෘජුවම රිල්වාන් හෂිම් බැලීමට බවයි. 

    තමා එලෙස හමුවී ඇත්තේ, සහරාන් හෂීම්ගේ සොහොයුරා බවට දැනගත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසුව බව, රාවුෆ් හකීම් මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

    මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා අවස්ථාවේ කාත්තන්කුඩියේ ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ පල්ලියට සිදුවී ඇති හානි නිරීක්‍ෂණයට ද තමා ගිය බව, හකීම් මහතා සඳහන් කළේය. 

    අදාළ පල්ලිය අයත් සහරාන් හෂිම් ත්‍රස්තවාදියෙකු බව, තමන් එම අවස්ථාවේ දැන නොසිටි බව ද, රවුෆ් හකීම් මහතා කොමිසම හමුවේ කියා සිටියේය. 

    මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ප්‍රශ්න කළේ, 2015 මහ මැතිවරණයට පෙර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහරාන් හෂිම් සමඟ ගිවිසුම් ගත වීමක් සිදුව තිබුණේ ද යන්නයි.

    ඊට පිළිතුරු දෙමින් රාවුෆ් හකීම් මහතා ප්‍රකාශ කලේ, සහරාන් හෂිම් විසින් කොන්දේසි මාලාවක් මැතිවරණයට ඉදිරිපත් වූ තම පක්‍ෂයේ නියෝජිතයින්ට ඉදිරිපත් කර තිබූ බවයි. 

    අයි.එස්. සංවිධානයේ මෙරට ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා මුස්ලිම් අමාත්‍යවරුන් දැනුවත් කළ බවට, කොමිසම ඉදිරියේ සාක්‍ෂි දී ඇත්නම් එය පිළිගන්නේ දැයි සභාපති විනිසුරුවරයා මෙහිදී විමසා සිටියේය.

    Last modified on අඟහරුවාදා, 08 සැප්තැම්බර් 2020 20:25

    Latest News