දුෂ්කර ගම්මාන සදහා කුඩා පාලම් 4,000ක්

සැප් 02, 2020

    ඉතා දුෂ්කර ගම්මානවල ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම, දෙස් විදෙස් සංචාරක කර්මාන්තය දියුණු කරලීම හා ජනතාවගේ දෛනික කටයුතු පහසු කරලීම පිණිස වැල්පාලම් හා ඒදඩු පාලම් ඇතුළු කුඩා පාලම් 4,000 ක් ඉදිකිරීම සදහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය එළඹෙන සතියේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.

    මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් සමග පසුගියදා (31) පැවති සාකච්ජාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ඉතා දුෂ්කර පළාත් වල ජීවත් වන ජනතාව සිය ආර්ථික භෝග නිෂ්පාදනය කොට ඒවා නිසි වේලාවට වෙළෙදපොලට රැගෙන යාමට නොහැකි වීමෙන් ආහාර නාස්තිය මෙන්ම ඒ සදහා නිසි මිලක් ලබා ගත නොහැකි වීමෙන් විශාල අපහසුතාවයකට පත්ව සිටිති.

    මෙම තත්ත්වය වලක්වාලමින් ඔවුන්ගේ ආර්ථිකය නගා සිටුවීමේ හා දෛනික කටයුතු පහසු කරලීමේ අරමුණ ඇතිව මෙම කුඩා පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදහස් කර තිබේ.

    ඉතා කෙටිකාලයක් තුළ අවම පිරිවැයක් යටතේ ඉංජිනේරුවන්ගේ තත්ත්ව සහතිකයන් යටතේ මෙම පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.

    Latest News