හැරිසන් හෙළිකළ "දෙයියන්ගේ හාල් කෑවා වගේ වැඩක්"

ජන 09, 2019

    ගොවියාට සහන ලබානොදී මහජනතාවගේ මුදලින්  වැටුප් ලබා ගන්නා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රාජ්‍ය සේවකයින් විශාල අපරාධයක් සිදුකරන බව කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.ලග්ගල හරිත නගරයේ අභිනවයෙන් ඉදිකරන ලද ගොවිජන සේවා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරමින් ඔහු මේ බව පැවසීය.

    ලූණු අර්තාපල් අල මුංඇට උඳු ආදී බීජ වර්ග පහකට බලපත්‍ර ක්‍රමයක් නිර්මාණය කරන බව අමාත්‍යවරයා පවසයි. ඉදිරියේදී විදේශ රටවලින් ලොකුළුණු ගෙන්වීමේ දී අවශ්‍ය ප්‍රමාණය හැර වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගබඩා කර තැබීමට නොහැකි වන සේ නීති අණපනත් සැකසීමට යන බව ද එවැනි ගබඩා පිළිබඳව සොයා බලා වැටලීම් කිරීමට ක්‍රියාත්මක වන බව ද ඔහු සඳහන් කළේ ය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පී හැරිසන් මහතා....

         "අද කෘෂිකර්ම සේවකයන් පිළිබඳව කියන්න කණගාටුයි. ඇතැම් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් ඉන්නවා ගොවියාගෙ සහනාධාර පොහොර ටික නිසියාකාරව බෙදලා දෙන්නේ නෑ. අපි වෙනුවෙන් ගොවියන් මහ පොළොවත් සමඟ හැපිල අහිංසක විදිහට ජීවත් වෙන්නේ. ඒ අයගේ දහදිය කඳුළු බදු මුදල් වලින් තමයි අපි පඩි ගන්නේ. මේ මහ පොළොවත් එක්ක ඔට්ටු වෙන ගොවීන්ට කලට වෙලාවට පොහොර ටික ඔවුන්ගේ වගාවට එන රෝග වලට නිසි ප්‍රතිචාර දක්වන්න බැරි නම්, අපේ යුතුකම ඉටු කරගන්න බැරි නම් ඒක මහා අපරාධයක්. සමහරු හිතන්න පුළුවන් කමක් නෑ මට වැටුප් ලැබෙනවා කියලා හැබැයි ඒක දෙයියන්ගේ හාල් කෑවා වගේ වැඩක්.

      "ඉදිරියේදී වී අස්වැන්න ලැබෙන්න තිබෙනවා දැන්මම ව්‍යාපාරිකයො සූදානම් වෙලා ඉන්නවා කුණුකොල්ලෙට මේ වී ටික ගන්න. මහා පරිමාණ වී මිලදී ගන්න ව්‍යාපාරිකයන් රජයෙන් ලබාදෙන ණය මුදලක් ලබාගෙන ගොවියාගේ වී මිල විශාල වශයෙන් පහත දමනවා. මේ සැරේ මම යෝජනා කරලා තියෙන්නේ  ණය සහන  ලබාගෙන වී මිලදී ගන්න ව්‍යාපාරිකයන්  රුපියල් 38  කට නාඩු කිලෝවක් සම්බා වී කිලෝවක් රුපියල් 41 ක මුදලකට මිලදී ගත යුතුයි. එහෙම මිලදී ගන්න අකමැති කිසිම කෙනෙකුට ඇපකර ණය ලබා දෙන්නේ නැහැ."

      "මම අගමැතිතුමාට යෝජනා කළා ගොවීන්ට ලබාදෙන පොහොර ටික නොමිලේ දෙන්න කියලා.  සමාගම්වලට 80% වඩා වැඩි සහනාධාර දෙනවා. මිලියන ගණනාවක් සමාගම්වලට සහන දීලා ගොවිය ගෙනුත් අය කරනවා. ගොවීන්ට පොහොර නොමිලේ දුන්නොත් තව තවත් ගොවීන් වගාවට පෙළඹෙයි."

      "මාතලේ, කුරුණෑගල, අනුරාධපුර,පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඉතා සාර්ථකව ලොකුලූනු වගාව සිද්ධ කරගෙන ආවා. හැබැයි මේ අස්වැන්න වෙළඳපලට එනකොටම පිටරට ළූණු ගෙන්නනවා. අස්වැන්න නෙලන කාලෙට බී ලූනු වලට බද්දක් ගහනවා කියලා මුදලාලිලා දන්නවා. ඊට කලින් ඒ අය පිටරටවල්වලින් ලූනු ගෙනල්ලා තමන්ගේ ගබඩාවල ඕනෑවටත් වඩා තබා ගන්නවා. මේක තමයි අපේ දේශීය ලූණු වලට හැමදාම උනේ. මේ නිසා අපි ඉදිරියේදී බි ලුණු, අල, මුං ඇට, උදු වලට ඇතුලු බීජ වර්ග පහකට පමණ බලපත්‍ර ක්‍රමයක් හදන්නවා. එවිට අපට බලාගන්න පුළුවන් ලංකාවේ ළූණු අවශ්‍යතාවය අර්තාපල් අවශ්‍යතාවය සහ කොපමණද කියලා. ඒ අවශ්‍යතාවයට අනුව ඉතිරි ඒවා පිටරටින් ගෙන්වීමට ඊට වඩා වැඩියෙන් ගෙන්වීම තහනම් කිරීමටත් යනවා. ගෙන්වන අය  ලියාපදිංචි විය යුතුයි. මේවා රටට අවශ්‍ය ප්‍රමාණයට හැර වැඩියෙන් ගෙන්වන්න ඉඩදෙන්නේ නෑ. ඒ අයගේ ගබඩා පවා අප පරීක්ෂාවට ලක් කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා."

     "ඒ වගේම තමයි දේශීය ලොකු ලූනු බීජ පිළිබඳ ප්‍රශ්නයක් බරපතළ ලෙස දැනෙනවා .මේ සඳහා ඉන්දියාව සමඟ  සාකච්ඡා කළ යුතුයි. ඉන්දියාවෙන් අපට හොඳ ප්‍රමිතියෙන් යුතු බීජ ලබා දෙන්නේ නැහැ. ඒ නිසා වෙළෙඳ ගිවිසුම් අත්සන් කරලා නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කරන්න ඕන".

    Latest News