හෙරොයින් කි‍ලෝ 3ක් සමඟ අයෙක් අත්අඩංගුවට (වීඩියෝ)

අගෝ 27, 2020
  • රුපියල් කෝටි 3කට අධික හෙරොයින් කිලෝ තුනක් සමඟ ඔරුගොඩවත්තේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ සමීපතයෙකුම බව පොලිසිය පවසයි. කොළඹ අපරාධ කොට්ඨාසය අද (27) උදේ කළ මෙහෙයුමකදී කෙසේවත්තේ ක්‍රිෂාන් වන මොහු අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 40ක් වන මෙම පුද්ගලයා සතුව තිබී රුපියල් ලක්‍ෂ 6කට අධික මුදල් ද බැංකු කාඩ්පත් හා චෙක්පත් තොගයක් ද සොයා ගෙන තිබේ. ඔහු භාවිත කළ වෑන් රථයක් ද පොලිස් අත්අඩංගුවට පත්විය.

    පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණ පරිශ්‍ යේ හෙරොයින් වෙළෙඳාම් කළ පුද්ගලයෙකු ඊයේ සවස පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2000කට අධික ප්‍රමාණයක් සහ රුපියල් 25,000ක මුදලක් ද සොයා ගැණින. සැකකරු, මාලිගාකන්ද මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක රැඳවුම් නියෝග ලබා ගැණින.

    මේ අතර කොම්පඤ්ඤවීදිය පොලිසිය කළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 100ක් සමඟ පුද්ගලයින් 4ක් අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් රුපියල් එක් ලක්‍ෂ 30,000ක මුදලක් ද බැංකු කාඩ්පත් කිහිපයක්, ත්‍රීරෝද රථයක් හා යතුරු පැදි දෙකක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් කොම්පඤ්ඤවීදිය හා දෙමටගොඩ ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම් කර ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිදරව් වී ඇත.

    ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන චාමර චතුරංග නමැති අපරාධකරුගේ සමීපතමයෙකු කළුතර කොට්ටාස අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගනු ලැබීය. ඔහු සමඟ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 24ක් සහ ජංගම දුරකතන 3ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

    හික්කඩුව වරාය පරිශ්‍රයේ ධීවරයින්ට ගංජා අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සතුව තිබී ගංජා ග්‍රෑම් 150ක් සොයා ගැනුණු අතර, පසුව කළ ප්‍රශ්න කිරීම්වලදී භූගත බටයක් තුළ සඟවා තිබූ තවත් ගංජා ග්‍රෑම් 350ක් ද පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

    පාදුක්ක පොලිසිය විසින් හෙරොයින් මිලිග්‍රෑම් 600ත් සමඟ පුද්ගලයින් 2ක් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ පාදුක්ක, වටරැක, ජයමුතුගම ප්‍රදේශයේ හෙරොයින් අලෙවි කරමින් සිටියදී.

    මහියංගනය, දොඩම්වත්ත, ගෙවල්විස්ස ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරතව සිටි මව, පියා සහ දියණියක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහියංගනය හා රිදිමාලියද්ද පොලිස් නිලධාරීන් කළ මෙහෙයුමකදී. එහිදී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 720ක්, ජංගම දුරකතන 14ක්, හැඳුනුම්පත් 9ක්, රියදුරු බලපත්‍ර තුනක් හා රුපියල් එක් ලක්‍ෂ 89,500ක මුදලක් අත්අඩංගුවට ගැණින. එම පවුලේ තවත් පුද්ගලයන් දෙදෙනෙකු හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා මත බන්ධනාගාරගතව සිටින බව පොලිසිය පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 අගෝස්තු 2020 20:08

    Latest News