පාස්කු ප්‍රහාරය ගැන ලිඛිතව දැනුම් දී නැහැ (වීඩියෝ)

අගෝ 27, 2020
  • පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීම් කිසිවක් ලිඛිතව, එවකට ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට යොමු නොකළ බව, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසමේ දී ඊයේ පිළිගත්තේය.

    හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා නිලන්ත ජයවර්ධන මහතාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී වැඩිදුරටත් හෙළිදරව් වූයේ, ප්‍රහාරය පිළිබඳ විදෙස් බුද්ධි අංශයකින් පූර්ව දැනුම්දීමක් කරන තුරු ඒ පිළිබඳ කිසිදු තොරතුරක් මෙරට රාජ්‍ය බුද්ධි සේවයට හෙළිදරව් වී නොතිබුණු බවයි.

    හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා ඊයේ 19 වැනි දිනටත් සාක්‍ෂි ලබාදීම සඳහා ජනාධිපති කොමිසමට පැමිණ සිටි අවස්තාවේදී මේ බව කියා සිටියේය.

    හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විමසා සිටියේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂවරයා ලෙස රාජකාරිමය වශයෙන් වගකීමකින් බැඳී සිටින්නේ, කුමන නිලධාරියාට ද යන්නයි.

    ඊට පිළිතුරු දෙමින්, ජයවර්ධන මහතා පැවසුවේ, තමන් ආරක්‍ෂක ලේකම්වරයා යටතේ සෘජුවම රාජකාරී කළ බැවින් වගකීමෙන් බැඳී සිටියේ ද ආරක්‍ෂක ලේකම්වරයාට බවයි.

    2018 වසරේ නොවැම්බර් මස දෙවැනි දින හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්‍ෂක ලේකම්වරයා ලෙස රාජකාරි ආරම්භ කළ බවත්, පාස්කු ප්‍රහාරය එල්ල වී දින දෙකකට පසු ඔහු එම ධූරයෙන් ඉල්ලා අස්වන තුරු මාස පහමාරක පමණ කාලයක් ඔහු එම ධූරයේ රැඳී සිටි බවත්, ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    එතැන් සිට තමන් සහ හේමසිරි ප්‍රනාන්දු මහතා සමීපව රාජකාරී සිදු කළ අතර, දිනකට දුරකතන ඇමතුම් දෙකක් හෝ තුනක් ලබාගන්නා පසුබිමක් තුළ මසකට දුරකතන ඇමතුම් 80ක් පමණ දෙදෙනා අතර හුවමාරු වූ බවයි.

    මෙහිදී සඳහන් කෙරුනේ, හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියේ, 2019 අප්‍රේල් මස පළමු වැනිදා සිට 20 වැනිදා දක්වා සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයින් සම්බන්ධයෙන් කිසිදු ලිඛිත වාර්තාවක් රාජ්‍ය බුද්ධි සේවය ආරක්‍ෂක ලේකම්වරයාට යොමුකර නොමැති බව පිළිගන්නේ ද යන්නයි.

    එයට පිළිතුරු දෙමින් තමන් එය පිළිගන්නා බව, නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. එිදී නීතිඥවරයා යලි ප්‍රශ්න කළේ 2019 අප්‍රේල් 04 වැනි දින විදෙස් බුද්ධි අංශයකින් ප්‍රහාරයක් පිළිබඳ පූර්ව දැනුවත් කිරීමක් කර එය අප්‍රේල් 5 වැනි දින ලිඛිතව ලබාදී තිබූ පසුබිමක අප්‍රේල් 21 පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලවන තුරු ආරක්‍ෂක ලේකම්වරයාට කිසිදු පූර්ව දැනුවත් කිරීමක් ලිඛිතව ඉදිරිපත් නොකළ බව, පිළිගන්නේ ද යන්නයි.

    එහිදී ද තමන් කිසිදු පූර්ව දැනුවත් කිරීමේ වාර්තාවක් ආරක්‍ෂක ලේකම්වරයාට ප්‍රහාරයට පෙර ලිකිතව ඉදිරිපත් නොකළ බව, ජයවර්ධන මහතා පිළිගත්තේය. ප්‍රහාරය එල්ලවන තෙක් ලිඛිත වාර්තා ඉදිරිපත් නොකළ ද ප්‍රහාරයෙන් පසු ආරක්‍ෂක ලේකම්වරයාට ලිකිත වාර්තා තුනක් ඉදිරිපත් කළ බව පිලිගන්නේ ද යන්න නීතිඥවරයා යළි ප්‍රශ්න කලේය.

    එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහාත කියා සිටියේ, ප්‍රහාරය එල්ලවීමෙන් පසු තමන් ආරක්‍ෂක ලේකම්වරයාට ලිකිත වාර්තා දෙකක් සැපයීමට කටයුතු කළ බවයි. කෙසේ වෙතත් ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීම් පිළිබඳ ලිඛිතව ආරක්‍ෂක ලේකම්වරයා දැනුවත් නොකළ ද ප්‍රහාරයට පෙර අප්‍රේල් මස 7 වැනි දින දුරකතනයෙන් ආරක්‍ෂක ලේකම්වරයා දැනුවත් කළ බව පෙන්වීමට තමන්ට සාක්‍ෂි ඇතැයි, නිලන්ත ජයවර්ධන මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

    එහිදී යළි හරස් ප්‍රශ්නයක් යොමු කළ නීතිඥවරයා කියා සිටියේ ලිඛිතව යැවිය යුතු යැයි නොසිතූ සාක්‍ෂිකරු අප්‍රේල් 7 වැනි දින දුරකතනයෙන් දනුවත් කළ බවට ලබාදෙන සාක්‍ෂිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. එම සාක්‍ෂිය අසත්‍ය බවට වූ චෝදනාව තමන් පිළිනොගන්නා බව පැවසූ ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ, ඉකුත් වසරේ අප්‍ර්ල් 7 වැනි දින තමන් ජාතික බුද්ධි ප්‍රධානියා ඇමතීමෙන් පසු ආරක්‍ෂක ලේකම්වරයා අමතා, ඒ වනවිට ලැබී තිබූ විදෙස් බුද්ධි අංශ තොරතුර පිලිබඳ දැනුවත් කළ බවයි.

    සාමකාමී රටක මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වෙනවා යැයි, බරපතල තොරතුරක් ලැබුණු අවස්ථාවක දිනකට දෙතුන් වතාවක් සුහදව කථා කළ තම ඉහළ නිලධාරියාට ලිඛිතව දැනුම් නොදුනේ මන්දැයි, නීතිඥවරයා මෙහිදී විමසා සිටියේය.

    බුද්ධි තොරතුරු ලිකිතව ලබා දෙන්න කියලා නියමයක් නැහැ. විවිධ ක්‍රමවලින් අපි බුද්ධි තොරතුරු වගකිවයුත්තන්ට ලබා දෙනවා අපි දුරකතනයෙන් මීට වඩා දේවල් කතා කරලා තියෙනවා. ලේඛන ගැන තර්ක කරන්න ගත්තේ අප්‍රේල් 21 වැනිදායින් පසුව යනුවෙන් එහිදී ජයවර්ධන මහතා පිළිතුරු ලබාදුන්නේය.

    මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින්නැයි හිටපු සහ වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට දැනුම් දී තිබේ.

    ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහායි. ඒ අනුව හෙට දිනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාටත් ලබන 31 වැනිදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ටත් පොලිස් විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

    එමෙන්ම, එළැඹෙන මස 2 වැනිදා ආශු මාරසිංහ සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ටත් එම මස 3 වැනිදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාට සහ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් යන මහත්වරුන්ටත් පෙනී සිටින ලෙස දන්වා ඇති අතර, එළඹෙන 7 වැනිදා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ 8 වැනිදා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන්ට පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 අගෝස්තු 2020 20:17

    Latest News