COVID - 19 වෛරසයට දේශීය විසදුමක් සොයයි

අප්‍රේ 07, 2020

    COVID - 19 වෛරසයට දේශීය විසදුමක් වශයෙන් දේශීය ආයුර්වේද විද්‍යාවට අනුකූලව ප්‍රතිජීවක ඖෂධයක් සොයාගැනීම සඳහා ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයින් රැස්වෙති.

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දේශීය වෛද්‍ය වෘත්තිකයින් 60 කට අධික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් රාජගිරියේ ස්ථාපිත කර ඇති COVID-19 වෛරසය පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පසුගිය දා පැවැත්විණි.

    ඒ COVID-19 වෛරසය පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානීගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරාධනයකට අනුවයි. එහිදි ‘ආයුර්වේද’ වෛද්‍ය ක්‍රම හා ‘සිද්ධ’ ක්‍රමවලට අනුකූලව දිවයින පුරා සියවස් ගණනාවක් පුරාවට සාර්ථක ලෙස පවත්වාගෙන මෙතෙක් දුර පැමිණි ‘හෙළ වෙදකම’ මගින් COVID-19 වෛරස් වසංගතය සුව කිරීම සඳහා විකල්පමය සාම්ප්‍රදායික ඖෂධයක් සොයා ගැනීමේ හැකියාව පිළිබද පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් ව තිබේ.

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ආයුර්වේද වෛද්‍ය සභාව සමඟ ඒකාබද්ධව COVID-19 වෛරසය පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී දේශීය වෛද්‍ය හා පෝෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට හිටපු යුද්ධ හමුදාධිපති මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක සහ COVID-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද සහභාගී වූහ.

    මෙහිදී, ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක ඖෂධ පිළිබඳ ඇති ඓතිහාසික දේශීය විශේෂඥතාවය පිළිබඳව මෙන්ම රටේ පරම්පරා ගණනාවක් මුතුන් මිත්තන් විසින් දේශීය පැළෑටි මිශ්‍රණ ඖෂධ ලෙස භාවිතා කරමින් මිනිසුන් සුව කළ ආකාරය, කෂාය වර්ග මෙන්ම වෙනත් හෙළ ඔසු ක්‍රම පිළිබඳව සිය අදහස් දක්වනු ලැබිණි. තවද, මෙම මාරාන්තික වෛරස් වසංගතයට ආයුර්වේද වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ලද පැරණි ආයුර්වේද පිළිවෙත්වල පූර්වාරක්ෂාව, රෝග නිවාරණය සහ පශ්චාත් ප්‍රතිකාර අවධීන් යනාදි වෙනත් ආදේශක වැළැක්වීමේ පියවරයන් ලෙස දේශීය වෛද්‍ය ක්‍රම භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව පැහැදිලි කළේය. මෙම මාරාන්තික වෛරස් වසංගතයට ස්ථිර වෛද්‍ය විසඳුමක් සෙවීමට එම ප්‍රමුඛ වෛද්‍යවරු ඒකමතික එකඟ වූ අතර එවැනි පිළිවෙත් නිරවද්‍යතාවයෙන් යුතුව ක්‍රියාත්මක කළ හැකි ආකාරය ද එහිදි පෙන්වා දෙන ලදී.

    මෙම ඵලදායී සාකච්ඡාව අවසානයේ දී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් චීනය මේ වන විට සොයාගෙන ඇති ආකාරයට සමාන විකල්ප දේශීය ඖෂධයක් කඩිනමින් ක්‍රියාත්මක වී සොයාගන්නා ලෙස එම වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියහ. තවද, ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර එම ඖෂධවල නිෂ්පාදන ක්‍රියාවලිය පහසු කිරීම සඳහා හැකි සෑම අයුරින්ම දායක වන බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාව සඳහා පූජ්‍ය ධම්ම ධම්මිස්සර හිමියන් ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් විජිතා සෙනෙවිරත්න මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.ඩබ්ලිව්.එම් පුෂ්පලතා මැණිකේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ටී වීරරත්න, පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන්ගේ ජාතික කමිටුවේ කැඳවුම්කරු, මේජර් ජෙනරාල් (වෛද්‍ය) සංජීව මුණසිංහ යන ප්‍රමුඛ ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

    Latest News