රජයේ අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

අගෝ 20, 2020

    පාර්ලිමේන්තුවේ රැස්වීම හෙට (21) දිනයේදී සහ ලබන සතියේ 27 වැනිදා සහ 28 වැනිදා යන දෙදින තුළදී පැවැත්වීමට පාර්ලිමේන්තුවේදී නව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) දින රැස්වූ පක්ෂ නායකයෝ තීරණය කළහ.

    ඒ අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවක් ලෙස හෙට (21) දිනයේදී විවාදයට ගැනෙනු ඇත.

    මේ අතර ඉදිරි සැප්තැම්බර් 01 වනදා සිට 2020 වර්ෂයට අදාල අයවැය සම්මත වන තුරු කාලය සඳහා වියදම් දැරීමට රජය විසින් ඉදිරිපත් කරනු ලබන අතුරු සම්මත ගිණුම ස්ථාවර නියෝග 27 අනුව න්‍යය පුස්තකය මගින් මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට පක්ෂ නායකයෝ තීරණය කළහ.

    අනතුරුව ලබන 27 සහ 28 යන දිනවලදී පෙරවරු 9.30 සිට පස්වරු 6.30 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමටත් එම දින දෙක තුළදී දිවා ආහාර විවේකයෙන් තොරව පාර්ලිමේන්තු රැස්වීම් පවත්වාගෙන යාමටත් පක්ෂ නායකයෝ තීරණය කළහ.

    මේ අතර ස්ථාවර නියෝග 27 (2) යටතේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා හෙට (21) පාර්ලිමේන්තුවේදී රැකියා විරහිත උපාධිධාරීන් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 අගෝස්තු 2020 20:29

    Latest News