කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,579

අගෝ 10, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,579 දක්වා ඉහළ ගොස් තිබේ.

    තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 254 දෙනෙකු පමණි. කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් තිදෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වූහ. ඔවුන්ගෙන් 2ක් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන්. ඉන්දියාවේ සිට පැමිණි අයෙක් ද හඳුනාගත් රෝගීන් අතර සිටින බව වාර්තාවේ.

    කොවිඩ්-19 රෝගය වැළඳුණ 2,579 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ. එම ප්‍රතිශතය 90.68ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 254 දෙනෙකු පමණි. එම ප්‍රතිශතය 8.93ක්.

    කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනා ගැනුණු සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 606ක්. ඔවුන්ගෙන් 423 දෙනෙකුම මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ. එම ප්‍රතිශතය 69.81ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 183ක්. ප්‍රතිශතයක් ලෙස එය 30.19ක්.

    අද වනවිට නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කළ සංඛ්‍යාව 29,729ක්. නිරෝධායන මධ්‍යස්ථාන 36ක් තුළ 3,025 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී.

    මෙරට තුළ සිදු කළ පීසීආර් පරීක්‍ෂණ එක් ලක්‍ෂ 71,169 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ කළ පීසීආර් පරීක්‍ෂණ 680ත් සමඟින්.

    මේ අතර, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ඊයේ රාත්‍රී මෙරටට පැමිණියේය. පැමිණි පිරිසට 286 දෙනෙකු අයත්. සියලු දෙනාම ගුවන් තොටුපොළේදීම පීසීආර් පරීක්‍ෂණවලට ලක් කෙරිණ. ඉන් අනතුරුව නිරෝධානය සඳහා යොමු කළේය.

    ජපානය සහ දෝහාකටාර් හි රැඳී සිටි පිරිසක් ද කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් අද අළුයම මෙරටට පැමිණියේය. ජපානයේ සිටි පැමිණි පිරිස 148ක්. දෝහාකටාර් සිට පැමිණියේ 28 දෙනෙකු පමණි. ඔවුන්ද ගුවන් තොටුපොළේදීම පීසීආර් පරීක්‍ෂණවලට ලක්කර නිරෝධායනය සඳහා යොමු කෙරිණ.

    Latest News