කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,514ක්

අගෝ 03, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 298 දෙනෙකු පමණක් අද වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    පූර්ණ සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 2,514ක්. කොවිඩ්-19 රෝගය වැළඳුණු 08 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා විය. ඔවුන්ගෙන් 07ක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින්. අනෙක් පුද්ගලයා කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනා ගැනුණු රෝගියෙකුගේ සමීපතමයෙක්.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 2,514 දෙනෙකුම මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ. එම ප්‍රතිශතය 89.05ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 298 දෙනෙකු පමණි. ප්‍රතිශතයක් ලෙස එය 11.85ක්.

    කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනා ගැනුණු සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 601ක්. ඔවුන්ගෙන් 380 දෙනෙකුම මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ. ප්‍රතිශතයක් ලෙස එය 63.22ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 201 දෙනෙකු පමණි. එම ප්‍රතිශතය 36.77ක්. අද වනවිට මෙරට තුළ පීසීආර් පරීක්‍ෂණ එක් ලක්‍ෂ 62,090ක් සිදුකර තිබේ. ඊයේ දිනය තුළ ද 1,210ක් සිදු කෙරිණ.

    මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ 29,121 දෙනෙකු මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබේ. නිරෝධායන මධ්‍යස්ථාන 33ක් තුළ 2,294 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටී.

    ඊයේ දින ලංකාපුර ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ්-19 රෝගියා සමීපව ඇසුරු කළ පුද්ගලයින් අද ස්වයං නිරෝධායනයට යොමු කෙරිණ. මෙම පුද්ගලයා එම ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ්-19 රෝගියාගේ සමීපතමයෙක්. එම ප්‍රදේශයෙන් කොවිඩ්-19 රෝගීන් වාර්තාවීමත් සමඟ ප්‍රදේශයේ 980 දෙනෙකුගේ පීසීආර් පරීක්‍ෂණ සිදුකර තිබේ. තවදුරටත් පීසීආර් පරීක්‍ෂණ සිදු කිරීමට නියමිත බව පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ නිලධාරීන් සඳහන් කරයි.

    Latest News