ජනතා කේන්ද්‍රීය “ජාතික ආර්ථිකයක්” හදන බව ජනපති පවසයි

අගෝ 02, 2020

    ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන ප්‍රතිපත්තියක් මත පදනම්ව ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    රටේ සම්පත් සහ ආර්ථික මර්මස්ථාන විදේශයන් සතු කිරීම වෙනුවට දේශීය ව්‍යවසායකයා ශක්තිමත් කරන “ජාතික ආර්ථිකයක්” අනාගතයට උරුම කරදීම රජයේ ප්‍රතිපත්තිය බවද ජනාධිපතිතුමා කියා සිටි.

    ජීවන වියදම පිළිබඳ බොරු පොරොන්දු දීමට වඩා වැදගත් වන්නේ කොවිඩ් වසංගතයත් සමග ඇති වූ කටුක යතාර්ථය තේරුම්ගෙන ජනතාව ශක්තිමත්ව නගා සිටුවීම බව රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

    පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවැද සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (02) හම්බන්තොට දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    අපේක්ෂක කපිල දිසානායක මහතා මිද්දෙණිය මහින්ද රාජපක්ෂ වෙළෙඳ සංකීර්ණය අසළ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටි පිරිසගෙන් ප්‍රදේශයේ අඩු පාඩු පිළිබඳව විමසීය.

    මිද්දෙණිය මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහල අළුත්වැඩියා කර දෙන ලෙස විදුහල්පතිවරයා කළ ඉල්ලීම එවලෙහිම යුද හමුදාපතිවරයාට දැනුම් දුන් ජනාධිපතිතුමා එය ඉටු කර දෙන්නැයි නියෝග කළේය.

    මිද්දෙණිය රෝහල වැඩිදියුණු කර දෙන ලෙස ජනතාව කළ ඉල්ලීමට ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

    වලස්මුල්ලට ප්‍රාදේශීය සභාවක් ලබාදෙන්නැයි අපේක්ෂක ලයනල් සුබසිංහ මහතා වලස්මුල්ල මහජන ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමාගෙන් වැඩම කර සිටි මහා සංඝරත්නය ඉල්ලා සිටියහ.

    වලස්මුල්ල රෝහල, බස්නැවතුම සහ වෙළෙඳපොළ ආශ්‍රිත ගැටළු පිළිබඳව ද ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි.

    සිසුන් නොමැතිවීම නිසා වසා දමා ඇති යහල්මුල්ල ප්‍රදේශයේ පාසලක් වෙනත් කර්තව්‍යයකට යෙදවීමට ඇති හැකියාව සහ ප්‍රදේශයට ඇගළුම් කර්මාන්ත ශාලාවක අවශ්‍යතාව ද ජනතාව පෙන්වා දුන්හ.

    අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව අසළ සංවිධාන කළ ජන හමුවට සහභාගි වූ ජනාධිපතිතුමාට ජනතාව මහත් හරසර දැක්වූහ.

    Latest News