කොළඹ, මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් සඳහා නව නිවාස ව්‍යාපෘතියක්

ජූලි 29, 2020

    කොළඹ දිස්ත්‍රික්කයේ, මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් සඳහා නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරන බව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

    මේ අතර, කසල ප්‍රතිචක්‍රීකරණයට සහ ගංවතුර පාලනයට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද එතුමා සඳහන් කළේය.

    ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ, කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා සංවිධාන කෙරුණු ජනහමු කිහිපයකට ඊයේ සහභාගි වෙමින්. ජනක රණවක මහතාගේ ජය තහවුරු කිරීම සඳහා නුගේගොඩ, ආනන්ද සමරකෝන් රඟහල අසළ සංවිධාන කෙරුණු ජනහමුවට ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහභාගි විය.

    අනතුරුව එතුමා සහභාගි වුණේ, ධනසිරි අමරතුංග මහතාගේ ජය තහවුරු කිරීම සඳහා දෙහිවල නගර සභාව අසල සංවිධාන කෙරුණු ජනහමුවටයි. නිවාස ඔප්පු නොලැබීමේ ගැටලුව සහ ගංවතුර පාලනයට වැල්ලවත්ත ඇළ මාර්ගය පුළුල්කර පිළිසකර කරදෙන ලෙස, ජනතාව ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටියේය.

    අපේක්‍ෂක අමල් සිල්වා මහතාගේ ජය තහවුරු කිරීම සඳහා සංවිධාන කෙරුණු ජන හමුව පැවැත්වුණේ, දෙහිවල, අත්තිඩිය, පොළ භූමියේ දී. එහි පැමිණි ජනාධිපතිතුමා ජනතාව සමඟ සුහද කතාබහක නිරත වූ අතර ඔවුන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලූහ.

    ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහභාගි වුණේ, මොරටුව, ලුනාව කලපුව අසල සමන් ලාල් ප්‍රනාන්දු මහතා සංවිධාන කළ ජන හමුවටයි. ජනතාව එතුමාගෙන් ඉල්ලා සිටියේ, පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුර කඩිනමින් අවසන් කර දෙන ලෙසයි.

    අපේක්‍ෂක ගාමිණි ලොකුගේ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා පිළියන්දල, ඔරලෝසු කනුව අසල සංවිධාන කෙරුණු ජන හමුවට ජනාධිපතිතුමා ඉන් අනතුරුව එක්විය.

    ඉන් අනතුරුව එතුමා සහභාගි වුණේ, මහරගම නගරයේ සංවිධාන කෙරුණු ජන හමුවටයි. කාන්ති කොඩිකාර මහත්මියගේ ජය තහවුරු කිරීමේ අරමුණින් මෙය පැවැත්විණ. පමුණුව, පදික වෙළෙඳාමේ නිරත වෙළෙඳුන් 850 පමණ පිරිසක් වෙනුවෙන් පොදු ස්ථානයක් සකසන ලෙස මෙහිදී යෝජනාවක් ඉදිරිපත් කෙරිණ. තමා ආරක්‍ෂක ලේකම්වරයාව සිටියදී, මේ සඳහා විශේෂ සැලසුමක් දියත් කළ ද, එල්ල වූ විරෝධතා නිසා එය ඇණ හිටි බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

    ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහභාගි වුණේ, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ජය තහවුරු කිරීම සඳහා හෝමාගම, නාගරික උද්‍යානයේ සංවිධාන කළ ජන හමුවටයි. හෝමාගම රෝහලේ, අඩු-පාඩු කෙරෙහිද, මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානයට යොමු විය.

    ප්‍රදීප් උඳුගොඩ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා බෝමිරිය, කිංස්ලි ටී වික්‍රමරත්න ක්‍රීඩාංගණයේ සංවිධාන කෙරුණු ජන හමුවට ද ජනාධිපතිතුමා ඊයේ සවස සහභාගි විය.

    හංවැල්ල නව පොළ පරිශ්‍රයේ ජනහමුව සංවිධාන කළේ, අපේක්‍ෂක මහේෂ් අල්මේදා මහතායි. එහි පැමිණි ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ඔවුන්ගේ ගැටලු පිළිබඳව ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අවධානය හිමිවිය.

    ඉන් අනතුරුව, ජනාධිපතිතුමා සහභාගි වුණේ, රවීන්ද්‍ර ශිරාන් ජයසිංහ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා කොස්ගම ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ සංවිධාන කෙරුණු ජන හමුවටයි. මෙහිදී මාලඹේ, හොරයිසන් ජාත්‍යන්තර පාසලේ, සොනාලි දහම්සා දැරිය සහ හෝමාගම, මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයේ, චන්දන චමන් රැද්‍රිගෝ සිසුවා තම මුදල් කැට කොවිඩ් අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කළේය. ව්‍යාපාරික ධනුෂ්ක විතානගේ මහතා ද කොවිඩ් අරමුදල වෙනුවෙන් රුපියල් ලක්‍ෂයක මුදලක් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

    ඉන් අනතුරුව එතුමා සහභාගි වුණේ, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ජය තහවුරු කිරීම සඳහා අවිස්සාවේල්ල නගර සභාව ඉදිරිපිට සංවිධාන කෙරුණු ජන හමුවටයි. ජනතාව සමඟ සුහද කතාබහක නිරත වූ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඔවුන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීමට එක්විය.

    Latest News