උසස් පෙළ - ශිෂ්‍යත්ව විභාග පවත්වන දින හෙට

ජූලි 19, 2020

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන දින හෙට (20) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

    හෙට පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන අතර ඉන් අනතුරුව විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

    කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.

    එහෙත් පාසල් වසා තැබීම ඇතුළු කරුණු හේතුවෙන් සිසුන්ට අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇති බවට ඉදිරිපත් වුණු කරුණු සැළකිල්ලට ගනිමින් විභාග දින සංශෝධනය කරන බවට අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කළේය.

    මේ අතර පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉදිරිපත් කළ නිර්දේශ යටතේ ලබන 27 වැනි දින සිට යළි පාසල් විවෘත කෙරේ.

    එහිදී 11,12 සහ 13 යන ශ්‍රේණිවල ළමුන් සඳහා පමණක් පාසල් නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

    කෙසේවෙතත් රාජාංගනය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාශයන්හි කිසිදු පාසලක් අගෝස්තු මස 10 වැනි දාට පෙර විවෘත නොකරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

    මේ අතර, විභාග සම්බන්ධයෙන් වන තීරණයන්ට එළඹීම අධ්‍යාපන අමාත්‍යංශය විසින් දිනෙන් දින කල්දැමීම පිළිගත නොහැකි බව ලංකා ගුරු සංගමය පවසනවා.

    අධ්‍යාපන අමාත්‍යංශය එවැනි තීන්දුවලට එළඹෙන්නේ ගුරු හෝ විදුහල්පති සංගම්වලින් කිසිඳු විමසීමක් සිදුනොකර බවයි, එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ.

    මේ අතර, විභාග පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට ප‍්‍රමාද වීම පාසැල් දරුවන්ට සිදුකරන අසාධාරණයක් බව ලංකා ගුරුසේවා සංගමය ද පවසනවා.

    සිසුන්ගේ ආරක්ෂාව මුල් කර ගනිමින් පාසල් සඳහා ලබාදුන් අතුරු නිවාඩුව තවත් සතියකින් දිර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා.

    ඒ අනුව 11, 12 සහ 13 යන ශ්‍රේණිවල සිසුන්ට පමණක් ජූලි මස 27 වැනි දින පාසල් යළි ආරම්භ කරනු ඇති.

    මැතිවරණයෙන් පසුව අගෝස්තු මස 10 වැනි දින පාසල්වල අනෙකුත් ශ්‍රේණි විවෘත කිරීම සුදුසු බවයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්දේශ කර ඇත්තේ.

     

    Last modified on ඉරිදා, 19 ජූලි 2020 14:21

    Latest News