දකුණෙන් උතුරට ගිය සංහිඳියාවේ අත්වැල

ජන 01, 2019
  • අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවට සහන රැගත් දුම්රියක් මාතර සිට කිලිනොච්චියට ළඟා විය.

    ඊයේ පස්වරුවේ (31) ගමන් ඇරඹු මනුෂ්‍යත්වයේ දුම්රිය අද (01) ප.ව 2.30 ට පමණ කිලිනොච්චි දුම්රිය ස්ථානය වෙත ළඟා විය. ජනාධිපති කාර්යාලයේ පුරවැසි අත්වැල වැඩසටහනේ සංවිධානත්වයෙන් දකුණේ ජනතාව ගංවතුරින් පීඩාවට පත් වූ අවස්ථාවේ උතුරේ ජනතාවගේ සහෝදරත්වයේ දෑත දිගු කරමින් උතුරෙන් දකුණට මනුෂ්‍යත්වයේ දුම්රිය පැමිණි අතර උතුරේ ජනතාව විපතට පත්ව සිටින අද දවසේ දකුණේ ජනතාවගේ සහෝදරත්වයේ දෑත ඔවුන් වෙත දිගු කර තිබේ.

    "සුරකිමු දුම්රිය" ව්‍යාපාරය විසින් මෙවර සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ පූර්ණ ආශිර්වාදයෙන් ජනාධිපති කාර්යාලයේ පුරවැසි අත්වැල වැඩසටහන සහ ජනාධිපති මාධ්‍ය අංශය ද එක් විය. ගාල්ල දිස්ති‍්‍රක් ලේකම්වරයාගේ මගපෙන්වීමෙන් සහ පුරවැසි අත්වැල ස්වේච්ඡා කි‍්‍රයාකාරීන් මඟින් එක් රැස් කරන ලද ද්‍රව්‍ය ගාල්ල දුම්රිය ස්ථානයේ දී දුම්රිය වෙත භාරදෙනු ලැබීය. පෞද්ගලික ආයතන රැසක් සහ ව්‍යාපාරික ප‍්‍රජාව ද මෙම සද්කාර්යය සමග අත්වැල් බැඳගෙන තිබිණි.

    වියළි ආහාර, පානීය ජලය, පාසල් උපකරණ, ඇඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය, බෙහෙත් ඇතුළු පරිත්‍යාග රැසක් මෙම සහන දුම්රියෙන් උතුරේ ජනතාව වෙනුවෙන් රැගෙන ගිය අතර රාගම, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල, කුරුණෑගල, ගනේවත්ත, මහව, ගල්ගමුව සහ අනුරාධපුර දුම්රිය ස්ථානවලදී ද එලෙස එක් කරන ලද ආධාර ද භාර ගන්නා ලදී. එම සියලූ ආධාර කිලිනොච්චිය දුම්රිය ස්ථානයේ දී කිලිනොච්චිය දිස්ති‍්‍රක් ලේකම්වරයා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.

    Last modified on බදාදා, 02 ජනවාරි 2019 10:54

    Latest News