බැඳුම්කර සිද්ධියේ පලිසේනට හා ඇලෝෂියස්ට ඇප (විඩියෝ)

ජන 01, 2019
  • මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියම කළේය.

    ඒ අනුව එක් සැකකරුවෙකුට රුපියල් මිලියනයක මුදල් ඇප සහ රුපියල් මිලියන 2 ක බැගින් වූ ශරීර ඇප හතරක්  නියම කළ අතර ඇපකරුවන් හතර දෙනාගෙන් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බවට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියම කළේය
    ඇපකරුවන් සියළු දෙනා ඔවුන්ගේ පදිංචිය තහවුරු කිරීමේ සහතික අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු අතර සැකකරුවන්ගේ ජාතික හැදුනුම්පත් වල පිටපත්  අධිකරණය වෙත භාර දිය යුතුවේ. ඒ අනුව සැකකරුවන්ගේ විදේශ ගමන් සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණ. ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාරදිය යුතු බවට නියම කෙරිණ. සෑම ඉරු දිනකම පෙරවරු 9ත් 12ත් අතර රහස් පොලිසියට වාර්තා කළ යුතු බවට මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ට නියම කළේය.
    මීට පෙර අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන වෙනුවෙන් ඇප ඉල්ලු ඔවුන්ගේ නීතිඥවරු කියා සිටියේ  ඔවුන්ගේ දරුවන් සහ බිරින්දෑවරුන් රෝගී තත්ත්වයන්ට මුහුණ පා ඇති බැවින් ඒය සුවිශේෂී කරුණක් සේ සලකා ඇප මත මුදා හරින ලෙසයි.
    ඒ අනුව අදාළ කරුණ සුවිශේෂී කරුණු සේම කරුණු සේ පිළිගත් මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ  මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන නොමැති නිසාත්, පරීක්ෂණ නිමා වන කාලය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව ඇති නිසාත් එම කරුණ ද සුවිශේෂි කරුණක් සේ සලකා මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත්කරන බවයි.
    Last modified on බදාදා, 02 ජනවාරි 2019 10:54

    Latest News