කොවිඩ්-19 රෝගය වැළඳුණු 08 දෙනෙකු අද මෙරටින්

ජූනි 16, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 08 දෙනෙකු අද මෙරටින් වාර්තා විය.

    ඔවුන්ගෙන් පස් දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින්. අනෙක් තිදෙනා ඉරානයේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් බව වාර්තාවේ.

    කොවිඩ්-19 රෝගය වැළඳී සුවය ලැබූ කාන්තාවකට නැවත වතාවක් කොරෝනා වෛරස් රෝග ලක්‍ෂණ මතුවී තිබෙන බවට වාර්තා වේ. එම කාන්තාව පසුගිය 18 වැනිදා කුවේට් සිට මෙරටට පැමිණ තිබේ. අනතුරුව, ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයට නිරෝධායනය සඳහා යොමුකර සිටින අතරතුර කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී හෝමාගම රෝහලට ඇතුලත් කෙරිණ.

    පසුව කළ පීසීආර් පරීක්‍ෂණවලින් කොවිඩ්-19 රෝගය සුව වූ බවට වාර්තාවීමත් සමඟ පසුගිය 14 වැනිදා කැබිතිගොල්ලෑවේ පිහිටි තම නිවස වෙත ගොස් තිබේ. අනතුරුව, පසුගිය 15 වැනිදා නැවතත් කොවිඩ්-19 රෝග ලක්‍ෂණ මතුවීම හේතුවෙන් අනුරාධපුර හික්‍ෂණ රෝහලට ඇතුළත් කෙරිණ. අනතුරුව ඇයව එම රෝහලේ මෙත්සිරි සෙවණ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ. සිදු කළ පීසීආර් පරීක්‍ෂණවලදී තහවුරු වී ඇත්තේ, තවදුරටත් එම කාන්තාවගේ ශරීරයේ කොරෝනා වෛරසය පවතින බවයි.

    මෙරට, කොවිඩ්-19 රෝගය වැළඳීසුවය ලැබූ ප්‍රතිශතය 71.66ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනය තුළ ද පූර්ණ සුවය ලැබූ 29 දෙනෙකු රෝහල්වලින් පිටව ගියේය.

    ඒ අනුව සුවය ලබා ඇති කොවිඩ්-19 රෝගය සංඛ්‍යාව 1,371ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 532 දෙනෙකු පමණි. එම ප්‍රතිශතය 27.75ක්. මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 11ක්. ප්‍රතිශතයක් ලෙස එය සියයට 0.57ක්.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් 16 දෙනෙකු ඊයේ හඳුනා ගැණින. ඔවුන්ගෙන් තිදෙනෙකු නාවික හමුදා සාමාජිකයින්. සෙසු පිරිස විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින්. ඔවුන්ගෙන් පස් දෙනෙකු කුවේට් රාජ්‍ය යේ සිට පැමිණ තිබේ. තවත් හය දෙනෙකු පැමිණ ඇත්තේ, මාලදිවයිනේ සිට. තවත් අයෙක් පාකිස්තානයේ ලාහෝර් නුවර සිට පැමිණ ඇති අතර, අනෙක් පුද්ගලයා පැමිණ ඇත්තේ බංග්ලාදේශයේ සිටයි.

    කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණෙන ගුවන් මගීන් විෂබීජානුහරණය කිරීමට අවශ්‍ය උපකරණ සහ කොවිඩ්-19 රෝගය වැළඳී ඇතැයි හඳුනා ගැනීමට අවශ්‍ය උපකරණ කිහිපයක් ගුවන් තොටුපල සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසේන මහතා වෙත අද බාරදෙනු ලැබීය. උපකරණවල වටිනාකම රුපියල් මිලියන 45ක්. එම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    හෝමාගම, පිටිපන නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් 68 දෙනෙකු සිය කාලය අවසන් කර අද නිවෙස් බලා පිටත්ව ගියේය. පිරිස රුසියාවේ බෙල්රූඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිට මෙරටට පැමිණ තිබේ.

    Latest News