නැගෙනහිර සමූල ඝාතනය කළ පොලිස් නිලධාරීන් සැමරේ

ජූනි 12, 2020

    නැගෙනහිර පළාතේ නිරායුධ පොලිස් නිලධාරීන් සමූල ඝාතනය කර ඊයේට වසර තිහක්. ඝාතනය කෙරුණු පොලිස් නිලධාරීන් සැමරුම් උත්සවයක්, අම්පාර කොට්ඨාස කාර්යාලය ඉදිරිපිට දී අද පැවැත්විණ.

    කොටි සංවිධානය විසින් නිරායුධ පොලිස් නිලධාරීන් 660ක පමණ පිරිසක් නැගෙනහිර පළාතේ දී සමූල ඝාතනය කරනු ලැබුවේ ජුනි මස 11 වැනි දිනයි. අවි නොදැරූ ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් හට එවකට පැවති ආණ්ඩුව විසින් දෙමළ ඊළාම් කොටි සංවිධානයේ විධානයන්වලට අනුව යටත් වන ලෙස අණ ලැබුණ අතර, එම අවස්ථාවේදී කොටි ත්‍රස්තවාදීන් විසින් ඒ පොලිස් නිලධාරීන් ඝාතනය කරනු ලැබීය. ඒ අනුව, අම්පාර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන තුනක පොලිස් නිලධාරීන් එල්ටීටීඊ සංවිධානයට යටත් විය. ඔවුන්ට අමානුෂික වධ වේදනාවන්ට ලක් වන්නට සිදුවිය.

    කල්මුණේ, අක්කරපත්තුව හා පොතුවිල් යන පොලිස් ස්ථානවල සේවය කළ නිලධාරීන් 300ක පමණ පිරිසක් අම්පාර තිරික්කෝවිල්, කන්චිකුඩ්ච්චාරු ප්‍රදේශයේ රූපස්කුලම මහ වන මැදදී වෙඩි තබා ඝාතනය කෙරිණ. එම පොලිස් නිලධාරීන් අතරින් නව දෙනෙකු මහ වනයට දිවගොස් දිවි ගලවා ගනු ලැබූහ. දින තුනකට පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එම ස්ථානය සොයා ගනු ලැබුවේ. එහිදී දක්නට ලැබුණේ කොටි සංවිධානය පොලිස් නිලධාරීන් එම ස්ථානයේ ම ඝාතනය කර ගිණි තබා තිබුණු ආකාරයයි.

    මීට වසර දෙකකට පමණ පෙර එම ස්ථානයේ තාවකාලික ස්මාරකයක් තනවා පොලිස් උපහාර වැඩසටහනක් ද පවත්වනු ලැබීය. අදත් එම ස්මාරකයේ අවශේෂ කොටස් එම භූමියේ දක්නට ලැබේ. ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවය සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් චාම් අන්දමින් පැවැත්විණ. අම්පාර කොට්ඨාසයේ වැඩබලන සහකාර පොලිස් අධිකාරී ප්‍රියදර්ශන රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාවට අම්පාර පොලිස් නිලධාරීන් ද එක්වූහ.

    Latest News