කොවිඩ්-19; 858 ක් පූර්ණ සුවය ලබයි (වීඩියෝ)

ජූනි 05, 2020
  • මෙරට කොවිඩ්-19 රෝගය වැළඳුණු 858 දෙනෙකු අද වනවිට පූර්ණ සුවය ලබා සිටී.

    අද දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 19ක්. කොවිඩ්-19 රෝගය වැළඳුණු 932 කු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. අද මෙතෙක් වාර්තා වූයේ කොවිඩ්-19 රෝගීන් සිව් දෙනෙකු පමණි. ඔවුන්ගෙන් දෙදෙනෙකුම බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණි පුද්ගලයන්. අනෙක් පුද්ගලයන් දෙදෙනා නාවික හමුදා සාමාජිකයන්. ශ්‍රී ලංකාවට ඇතුළුවන රාජ්‍ය තාන්ත්‍රිකයන් සඳහා PCR පරීක්‍ෂණ සහ නිරෝධායන ක්‍රියා පටිපාටි පිලිබඳ සංශෝධිත උපදෙස් මාලාවක් විදේශ සබඳතා අමාත්‍යාංශය අද නිකුත් කර තිබේ. ඒ අනුව, රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් අදාළ රටවලින් පිටත්ව යාමට පෙර පැය72ක් තුළ ලබාගත් PCR පරීක්‍ෂණ වාර්තා ඉදිරිපත් කළ යුතුවේ.

    ඔවුන්ට අදාළ PCR පරීක්‍ෂණ වාර්තා ලබාදීමට නොහැකි නම්, එම පුද්ගලයන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අනිවාර්ය PCR පරීක්‍ෂණයකට භාජනය කරනු ඇත. එම පුද්ගලයන් නිල නිවාසවලදී ස්වයං නිරෝධායනයට ලක් කළ යුතුය. එම කාර්ය මණ්ඩලය හා සාමාජිකයන් දූත මණ්ඩල ප්‍රධානීන්ගේ එකඟතාවට හා අධීක්‍ෂණයට යටත්ව දින 14ක කාලයක් සඳහා ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කරනු ලබන හෝටලයක නිරෝධායන ක්‍රියාපටිපාටීන් අනුගමනය කළ යුතුය. නොඑසේ නම්, වෙන් වෙන් වශයෙන් පිහිටි නිවාසවල ද නිරෝධායනය විය හැක. නිරෝධායන කාලය අවසන් වූ වහාම ඒ බව, අදාළ පාර්ශව හරහා විදේශ සබඳතා අමාත්‍යාංශයට දැනුම් දිය යුතුවේ. අදාළ නිලධාරියා දූත මණ්ඩල සේවය නැවත ආරම්භ කිරීමට පෙර දූත මණ්ඩලය විසින් සිදු කරන ලද දෙවන PCR පරීක්‍ෂණ වාර්තාව ඉදිරිපත් කළ යුතු බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

    කොවිඩ්-19 රෝගය වැළඳුනු බවට ඊයේ තුළ හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 48ක්. ඔවුන්ගෙන් 42ක් නාවික හමුදා සාමාජිකයින්. අනෙක් සියලු දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින්. ඉන්දියාවේ සිට පැමිණි තිදෙනෙකු, බංග්ලාදේශයේ සිට පැමිනි පුද්ගලයන් දෙදෙනෙක් සහ ඩුබායි සිට පැමිණි පුද්ගලයෙකු ඔවුන් අතර වේ.

    අද වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 රෝගීන්ගෙන් 883 ක් නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්. එය ප්‍රතිශතයක් ලෙස ගත් විට 49.02%ක්. තවත් 605 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ, විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන්ගෙන්. එම ප්‍රතිශතය 33.59ක්. සෙසු සියලු දෙනාම දේශීයව හඳුනා ගැනුණු කොවිඩ්-19 රෝගීන්. එම සංඛ්‍යාව, 313ක්. ප්‍රතිශතයක් ලෙස 17.37ක් වේ.

    හබරාදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 125 දෙනෙකු අද නිරෝධායන කාලසීමාව අවසන් කළේය. පිරිස, නාවික හමුදා සාමාජිකයින් බව වාර්තාවේ. නිරෝධායන කාලසීමාව අවසන් කිරීමෙන් පසු PCR පරීක්‍ෂණ ද සිදුකර පිරිස නිවෙස් බලා පිටත් කෙරිණ.

    බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 25 දෙනෙකු සිය නිරෝධායන කාලසීමාව අවසන් කර තිබේ. ඒ, ඊයේ සහ අද දෙදින තුළ. ඔවුන්ට නිරෝධායන සහතිකය ද පිරිනැමිණ. පුද්ගලයන් 84ක් නිරෝධායනය වෙමින් සිටී.

    දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට අලුයම 4.00න් අවසන්. හෙට සිට යළි දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ, සෑම දිනකම රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වායි.

    සියළු කාර්යාල දුම්රිය, දුර ගමන් සේවා, රාත්‍රී තැපැල්, නගරාන්තර දුම්රියන්, සාමාන්‍ය දුම්රිය කාලසටහනට අනුව ජූනි 08 සිට ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයි, ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. එහෙත්, කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන දෙනුවර මැණිකේ ශීඝ්‍රගාමී දුම්රිය සහ ගල්කිස්ස කන්කසන්තුරය අතර ධාවනය වන වායු සමනය කළ ශීඝ්‍රගාමී දුම්රිය ධාවනය නොවනු ඇත.

    කලින් ආසන වෙන්කර ගැනීමේ පහසුකම සුපුරුදු පරිදි හෙට සිට ක්‍රියාත්මකයි. දුම්රිය කාලසටහනේ යම් වෙනස්වීම් සිදු කර ඇති බැවින් ඒ පිලිබඳව සැලකිලිමත් වන ලෙස මගී ජනතාවගෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවය ඉල්ලා සිටී. මගීන් දුම්රිය සේවාව අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කළ යුතුය.

    ඉරණවිල කොවිඩ්-19 මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සහ ප්‍රතිකාර කරන වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඉරණවිල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරාධිපති පූජ්‍ය කලුගමුවේ පඤ්ඤාසාර හිමි විසින් ධර්ම දේශනාවක් අද සිදු කරනු ලැබීය. ඒ පොසොන් පොහොය නිමිති කරගෙන. කොවිඩ් රෝගීන්ට මෙම ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ඔවුන්ගේ කුටි තුළම සපයා තිබේ. මේ වනවිට එහි කොවිඩ් 19 රෝගීන් 52ක් ප්‍රතිකාර ලබමින් සිටී.

    ඇඳිරි නීතිය සහ නිරෝධායන නීති කඩ කරමින් බදුල්ල, රිදීපාන කඳුමුදුනේ සරුංගල් යැවීමට සහ එය නැරඹීමට 500කට අධික පිරිසක් පැමිණ තිබේ. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව බදුල්ල පොලිසිය පවසයි. එම පිරිස පැමිණි වාහනවල අංක තහඩු සටහන් කරගෙන ඇති අතර, විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් ප්‍රදේශයේ දැඩි මාර්ග තදබදයක් ඇති වී තිබූ බව අප වාර්තාකරු පවසයි.

    Last modified on සිකුරාදා, 05 ජූනි 2020 20:22

    Latest News