කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ 781ක් නිවෙස්වලට

මැයි 30, 2020

    කොවිඩ් 19 රෝගය වැළඳුණු 781 දෙනෙකු අද වනවිට පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් තිබේ.

    රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාවට වඩා සුවය ලැබූ සංඛ්‍යාව ඉහළ අගයක් ගෙන තිබේ. රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ රෝගය වැළඳුණු 770 දෙනෙකු පමණයි. මේ අතර රෝගය වැළඳුණු තවත් දස දෙනෙකු අද හඳුනා ගැණින. ඔවුන් ආරක්‍ෂක හමුදා සාමාජිකයන්. රෝගය වැළඳුනු සමස්ත රෝගීන් ගත් කළ සුවවූ සංඛ්‍යාවේ ප්‍රතිශතය 50ක්. රෝහල් ගතව ප්‍රතිකාර ලබන ප්‍රතිශතය 49ක්. තවදුරටත් මෙරටින් මරණ වාර්තා වන්නේ 10ක් පමණි. එම ප්‍රතිශතය 0.64ක්.

    ඊයේ හඳුනා ගැනුණු රෝගීන් සංඛ්‍යාව 28ක්. ඉන් 17 දෙනෙකු ආරක්‍ෂක හමුදා සාමාජිකයින් බව අමාත්‍යාංශය සඳහන් කරයි. අනෙක් අට දෙනා කටාර් සිට මෙරටට පැමිණි පුද්ගලයන්. තවත් දෙදෙනෙකු පැමිණ ඇත්තේ, කුවේට් රාජ්‍යයේ සිට. රුසියාවේ සිට පැමිනි පුද්ගලයෙකුට ද රෝගය වැළඳී ඇතැයි ඊයේ තහවුරු විය.

    සමස්ත කොවිඩ්-19 රෝගීන්ගෙන් 479 දෙනෙකුම විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන්ගෙන් හඳුනාගෙන තිබේ. ප්‍රතිශතයක් ලෙස එය 30.68ක්. තවත් 775 දෙනෙකු ආරක්‍ෂක හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්. එය 49.64ක ප්‍රතිශතයක්.

    සෙසු ආසාදිතයින් සංඛ්‍යාවෙන් 309 දෙනා දේශියව හඳුනා ගැණුනු අයයි. එය ප්‍රතිශතයක් ලෙස 19.79ක් වේ.

    ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට 286 දෙනෙකු රැගත් ගුවන් යානයක් මෙරටට පැමිණියේය.

    ඉන්දියාවේ මුම්බායි සිටි 18 දෙනෙකු රැගත් ගුවන් යානයක් අද උදේ මෙරටට පැමිණියේය. ඔවුන් සියලු දෙනාම විෂබීජානුහරණ ක්‍රියාවලියකින් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කෙරිණ.

    බොරැල්ල, ආයුර්වේද හික්‍ෂණ රෝහලේ පවත්වා ගෙනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පිරිසක් අද සිය නිරෝධායන කාලසීමාව අවසන් කළේය. එම පිරිසට 109 දෙනෙකු අයත්. ඔවුන් පසුගිය 15 වැනිදා ජපානයේ සිට මෙරටට පැමිණ තිබේ.

    අද රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය ජුනි පළමුවැනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මකයි. මේ අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ද ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය අවසන් වන්නේ ජුනි පළමුවැනිදා අලුයම 4.00ටයි. ජුනි පළමු වැනිදා සිට ජුනි තුන්වැනි බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය බල පැවැත්වෙන්නේ රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණි.

    ජූනි 04 සහ 05 දෙදින සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරිනීතිය පැනවේ. ජුනි 6 වැනි සෙනසුරාදා සිට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ, රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණි.

    Latest News