යළි පණගැන්වෙන වාලච්චේන කඩදාසි කම්හල (වීඩියෝ)

මැයි 30, 2020
  • වාලච්චේන පිහිටි ජාතික කඩදාසි සමාගම මගින් නිපදවන කඩදාසි මෙරට ජනතාව පරිහරණය කරන දිනය වැඩි ඈතක නොවන බව, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, එම කඩදාසි කම්හලේ ප්‍රධාන යන්ත්‍රය අද යළි පණගන්වමින්.

    මෙරට ප්‍රථම කඩදාසි කර්මාන්ත ශාලාව වන වාලච්චේන ජාතික කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු 1956 වසරේ ආරම්භ කෙරිණ. මෙහි කඩදාසි නිපදවන යන්ත්‍ර සූත්‍ර එකල නැගෙනහිර ජර්මානු රජයේ පරිත්‍යාග ලෙස මෙරටට ලැබී තිබේ. දෛනිකව මෙට්‍රික්ටොන් 60ක පමණ විවිධ වර්ගයේ කඩදාසි මෙරට කඩදාසි අවශ්‍යතාව සපුරාලීම සඳහා මෙහි නිපදවනු ලැබීය. එහෙත්, විවිධ හේතු මත වසර කිහිපයකට පෙර මෙහි නිෂ්පාදන කටයුතු නවතා දැමුණු අතර, එමගින් සේවකයින් 3,500කට පමණ රැකියා අවස්ථා අහිමි විය.

    යුද ජයග්‍රහණයෙන් අනතුරුව 2012 වසරේ එවකට පැවති ආණ්ඩුව “නැගෙනහිර නවෝදය“ වැඩසටහන යටතේ වාලච්චේන කඩදාසි කම්හල යළි ගොඩනැගීමේ කටයුතු ආරම්භ කෙරිණ. එහෙත්, එම යෝජනාව ක්‍රියාත්මක වූයේ නැත. එහෙත්, වත්මන් ආණ්ඩුවේ “සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දේශීය කර්මාන්ත නඟා සිටුවීමේ වැඩසටහන යටතේ කඩදාසි කම්හල යළි නඟා සිටුවීමට පියවර ගැනින. ඒ අනුව, එහි ප්‍රධාන කඩදාසි නිෂ්පාදන යන්ත්‍රය පණගන්වා එහි පර්යේෂණ කඩදාසි එළි දැක්වීමට අද සිදු කෙරිණ.

    දේශීය හා විදේශීය ඉංජිනේරුවන්ගේ මෙන්ම යුද සහ නාවික ඉංජිනේරු බලකායන්ගේ සහය ද කර්මාන්ත ශාලාව යළි ගොඩනැගීම සඳහා ලැබී තිබේ. එසේම, කර්මාන්ත ශාලා පරිශ්‍රය සතු අක්කර 500ක පමණ භූමි භාගය ද බහුවිධ සංවර්ධන ව්‍යාපෘති සහිතව සංවර්ධනය කිරිමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 30 මැයි 2020 20:12

    Latest News