කොවිඩ් 19; තවත් 23ක් පූර්ණ සුවය ලබා නිවෙස් වෙත (වීඩියෝ)

මැයි 12, 2020
  • කොවිඩ් 19 රෝගය වැළඳුණු තවත් පුද්ගලයන් 23 දෙනෙකු අද පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පැමිණ තිබේ.

    ඒ අනුව, පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 366ක්. මේ අතර, කොවිඩ් 19 රෝගය වැළඳුණු තවත් රෝගීන් දස දෙනෙකු අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    කොවිඩ් 19 රෝගය වැළඳුණු බවට අද වාර්තා වූ පුද්ගලයන්ගෙන් නව දෙනෙකුම ආරක්‍ෂක අංශ සාමාජිකයන්. අනෙක් පුද්ගලයා නිරෝධායනය සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටි පුද්ගලයෙක්. අද හඳුනාගත් පුද්ගලයන් සමඟ රෝහල් තුල ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ ගණන 504ක්.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් 06 දෙනෙකු ඊයේ හඳුනා ගනු ලැබීය. ඔවුන් සියලු දෙනාම ආරක්‍ෂක අංශ සාමාජිකයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අතර, ඊයේ පමණක් රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ විසි දෙදෙනෙකු රෝහල්වලින් පිටව ගියේය.

    වවුනියාව, පොම්පෙමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිය නිරෝධායන කාලසීමාව අවසන් කළ තවත් පිරිසක් අද නිවෙස් බලා පිටව ගියේය. ඔවුන් වව්නියාව, අනුරාධපුර සහ හොරොව්පොතාන යන ප්‍රදේශවල පදිංචිකරුවන්. එම පිරිසට තිස් දෙදෙනෙකු අයත්.

    පූනානි යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පිරිසක් සිය නිරෝධායන කාලසීමාව අවසන් කර නිවෙස් වෙත පිටව ගියේය. ඊට පනස් දෙනෙකු අයත්. වෛද්‍ය අධ්‍යාපනය සඳහා බංග්ලාදේශයට ගොස් සිට ඔවුන් යළි මෙරටට පැමිණ තිබේ. නිරෝධායන මධ්‍යස්ථානය තුළ එම කාලසීමාව අවසන් කිරීමෙන් පසු ඔවුන්ගේ PCR පරීක්‍ෂණ ද සිදුකර ඇති බව වාර්තාවේ. පිටව ගිය පිරිස මාතර සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවන්.

    අනුරාධපුර, මිහින්තලය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර සිටි පිරිසක් ද නිරෝධායන කාලසීමාව අවසන් කර ඉන් පිටව ගියේය. එම පිරිසට 70 දෙනෙකු අයත් බව වාර්තාවේ. හඳුනාගත් කොවිඩ්-19 රෝගීන්ගේ සමීපතම ආශ්‍රිතයන් පිරිසක් මෙලෙස නිරෝධායනයට යොමු කර සිට තිබේ.

    කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ ජනතාව බහුලව ගැවසෙන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් තෝරා ගනු ලැබූ පුද්ගලයින්ගේ ජෛව පටල සාම්පල පරීක්‍ෂණ සඳහා යොමු කිරීම තවදුරටත් අඛණ්ඩව සිදු කෙරේ. අදත් මාලිගාවත්ත සෞඛ්‍ය මධ්‍යස්ථානයේ දී PCR පරීක්‍ෂණ සහ රුධිර පරීක්‍ෂණ සිදු කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 12 මැයි 2020 20:25

    Latest News