හෝමාගම මූලික රෝහල කොවිඩ් 19 ප්‍රතිකාර රෝහලක් බවට පත් කෙරේ

අප්‍රේ 29, 2020

    හෝමාගම මූලික රෝහල අද සිට කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන රෝහලක් බවට පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    එය මෙතෙක් පැවතියේ කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් වෙනුවෙන්.

    කොවිඩ්-19 රෝගය පැතිරයාම වැළැක්වීමට විධිමත් ක්‍රම වේදයක් සකස් කර ඇති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.

    මින්නේරිය, කටුකැලියාව යුද හමුදා කඳවුර තුළ දින 21ක නිරෝධායන කාලයක් නිමා කළ තවත් 49 දෙනෙක් අද සිය නිවෙස් බලා පිටත්වූහ. ඔවුන් පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් ඉන්දුනිසියාවේ සිට මෙරටට පැමිණි පිරිසක්. පුත්තලම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ අදාළ පුද්ගලයින් නිරෝධායනයට යොමු කෙරිණ. කටුකැලියාව යුද හමුදා කඳවුරේ දින 21ක නිරෝධායන කාලයක් සම්පූර්ණ කිරිමෙන් අනතුරුව ඔවුන්ට අද නිරෝධායන සහතික පත් නිකුත් කෙරිණ.

    පවතින කොවිඩ් 19 තත්වය හමුවේ අනුරාධපුර දිස්ත්‍රික්ක යේ එප්පාවල, තලාව, තඹුත්තේගම යන නගරවල වෙළෙඳසැල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. සියලු වෙළෙඳ හිමියන්ගේ එකඟතාවයෙන් මෙය සිදු කළ බව වාර්තාවේ. අත්‍යවශ්‍ය කටයුතු සඳහා එම ප්‍ර දේශයන්වල බැංකු සහ ඔසුසල් පමණක් විවෘතව පවතිනු දක්නට ලැබුණු බව අප වාර්තාකරු පවසයි. ප්‍රදේශයෙන් කොවිඩ් 19 රෝගීන් කිහිප දෙනෙකු වාර්තාවීම මීට හේතුවයි.

    නාවලපිටිය නගරයේ ද සියලු වෙළෙඳසැල් ආදිය වසා දැමීමට නාවලපිටිය වෙළෙඳ සංගමය තීරණය කර තිබේ. වෙළෙඳසැල් වසා දැමීමෙන් පසුව නාවලපිටිය නගරය සම්පූර්ණයෙන්ම විෂබීජානුහරණයට ලක් කෙරිණ. නාවලපිටිය ප්‍ර දේශවාසීන් දෙදෙනෙකුට රෝගය ප්‍රේෂණය වී ඇතැයි පැවසේ. ඔවුන් දෙදෙනාගේ සමීප ආශ්‍රිතයින් තිස් හතර දෙනෙකු මිහින්තලේ නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට සහ වවුනියාව, පොම්පේමඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරිණ. ඔවුන් වාසය කළ ගම්මාන දෙකෙහි පවුල් 13ක සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙන බව වාර්තාවේ.

    නාරාහේන්පිට ප්‍ර දේශයෙන් කොවිඩ ් 19 රෝගියෙකු වාර්තාවීමත් සමඟ ඔහු සමීපව ආශ්‍ර ය කළ පුද්ගලයින්ගේ ජෛව පටල සාම්පල ලබාගැනීම අද සිදු කෙරිණ. එම පිරිසට 180ක් අයත්. කොළඹ 02, මුත්තයියා මාවතේ ස්ථානයකදී පසුගියදා නගර සභා සේවකයන්ගේ සිදු කළ පී සී ආර් පරීක්‍ෂණවල දී මෙම පුද්ගලයාට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බව තහවුරු විය.

    කොවිඩ් 19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට, අංගොඩ, ජාතික මානසික විද්‍යායතනයේ ඉදි කෙරුණු ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිල්ලක් අද විවෘත කෙරිණ. ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙය ප්‍රතිසංස්කරණය කෙරුනේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකායයි. සති දෙකක් වැනි සුළු කාලයකදී නවීකරණය නිම කෙරිණ. රෝගීන් 25 දෙනෙකු සඳහා පහසුකම් සපයා තිබේ.

    කුරුණෑගල මහ රෝහලට අඩුපාඩඉුවක්ව පැවති පී සී ආර් යන්ත්‍රයක් ලබාදීම අද සිදු කෙරිණ. ලුණුවිල, ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය විසින් මෙය රෝහල් අධ්‍යක්‍ෂ සරත් වීරබණ්ඩාර මහතා වෙත බාරදෙනු ලැබීය.

    ඉන්දියාවේ රැඳී සිටි තවත් සිසුන් 143 දෙනෙකු අද ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් “යූ එල් 1196“ යානයෙන්. ඔවුන් පැමිණියේ ඉන්දියාවේ දිල්ලි නුවර සිටයි. එම පිරිස යුද හමුදාවට අයත් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරිණ. මේ අනුව ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය යන රටවල සිදු කළ මෙහෙයුම් කටයුතු අදින් අවසන් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

    Latest News