එමෙන්ම සෞඛ්‍ය ආපදා තත්වය පිළිබඳ සමාලෝචනය සඳහා අමාත්‍ය මට්ටමේ කමිටුවක් ස්ථාපනය කිරීමට ද ජනාධිපතිතුමා යෝජනා කළේය. සාක් හෙවත් දකුණු ආසියානු සහයෝගීතාත සංගමයේ රාජ්‍ය නායකයන් අද චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ටෙලි සමුළුවකට සහභාගි වූහ. ඒ ගෝලීය වංසගතයක් බවට පත්ව ඇති කොවිඩ් නයින්ටීන් රෝගය පිටු දැකීමේ කලාපීය වැඩසටහනක් පිළිබඳව අවධානය යොමු කිරීමටයි. සමුළුව පැවැත්වුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිකුරාදා කළ යෝජනාවකට අනුවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු සාක් නායකයන් ඊට පූර්ණ සහ පළ කළහ. සමුළුවේ කැඳවුම්කරු ලෙස ක්‍රියා කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කියා සිටියේ අප රටවල් පෙර නොවූ විරූ අභියෝගයකට මුහුණ දී ඇති බවයි. කොවිඩ් නයින්ටීන් හදිසි අරමුදලක් පිහිටුවීමට යෝජනා කළ ඉන්දීය අගමැතිවරයා එහි ආරම්භක මුදල වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 10ක් ප්රදානය කිරීමට එකඟතාව පළ කළේය. ඉන්දියාව සතුව ඇති හදිසි සෞඛ්‍ය ප්‍රතිචාර ඒකකයේ සහය සෙසු රටවලට ද ලබාදීමට හැකි බව ඔහු පවසයි.
එමෙන්ම රෝග තත්වය පිළිබඳ විධිමත් පරීක්ෂණ සඳහා විද්‍යාත්මක ක්ෂේත්රවල සහයෝගිතාව නැංවීම මෙන්ම තොරතුරු බෙදා හදා ගැනීමේ ඩිජිටල් වේදිකාවක් පිලිබඳව ද ඉන්දීය අගමැතිවරයාගේ යෝජනා තුළ ඇතුලත් විය.
සමුළුව ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාව අනුගමනය කළ සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කළේය.
“ශ්‍රී ලංකාවේ රටවැසියන්ට තම රට පැමිණිම වැළැක්වීමට අපි ක්‍රියා කලේ නැහැ. එහෙත් මෙරටට පැමිණෙන සියලු පිරිස් විධිමත් නිරෝධායනයකට ලක් කිරීමට පියවර ගත්තා. සංචාරකයන් සඳහා අනතුරු ඇගවීම් නිකුත් කළා. පැමිනිමේදී ලබාදෙන වීසා අවලංගු කර තිබෙනවා. ජනතාව දැනුවත් කිරීම සඳහා නිසි තොරතුරු ඇතු
ලත් ප්රචාරක වැඩසටහන් අප ආරම්භ කර තිබෙනවා. මෙවැනි රෝගවලට ප්‍රතිකාර කිරීමේ විහේෂ පහසුකම් සහිත අයි.ඩී.එච්. රෝහල ඇතුලු රෝහල් වෙත රෝගීන් යොමු කෙරුණා. නියමිත පරිදි ශ්‍රී ලංකාවේ මහමැතිවරණය පැවැත්වීමට අපි කටයුතු කරනවා. එහෙත් විශාල මට්ටමේ ප්රචාරක මහජන රැලි පැවැත්වීම අපි මේ අවස්ථාවේ අනුමත කරන්නේ නැහැ.
මහජන පොදු ප්‍රවාහන සේවාවන් ජීවානුහරණය කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරෙනවා. කොවිඩ් නයින්ටීන් රෝග තත්වය නිසා වඩාත් දැඩි බලපෑමට ලක්වූයේ සංචාරක හා අපනයන ක්ෂේත්රයයි. රෝගය නිසා ඇති වූ ආර්ථික අවපාතය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට විධිමත් කලාපීය යාන්ත්‍රණයක් සැකසීමට මා යෝජනා කරනවා. එමෙන්ම වත්මන් අර්බුදය පිලිබඳව අමාත්‍ය මට්ටමේ කමිටුවක් ස්ථාපනය කර ඒකාබද්ධ වැඩසටහනක් සඳහා යොමු විය යුතුයි. මෙවැනි අවස්ථාවකදී ජනතාවගේ පැහැදිලි අවබෝධය සහ ආකල්ප වර්ධනය සඳහා ක්‍රියාත්මක වීම වැදගත්. ඊට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් අපි අනුගමනය කර තිබෙනවා“ යැයි ජනාධිපතිතුමා පැවසීය.
ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රොෆ් ගානි මහතා සමුළුව අමතමින් ප්‍රශ්න කර සිටියේ චීනය අත්පත් කරගෙන ඇති දැනුම සාක් රටවල රෝග මර්දනය සඳහා ද ලබා ගැනීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක විය යුතු බවයි. ක්‍රියාශිලි තරුණ හා සිසු පරපුර නිරෝධායනය ක්‍රියාවලියේදී නිෂ්ක්‍රීය තත්වයට පත්වන බැවින් ඒ පිළිබඳව සලකා බැලීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දුන්නා.
භූතානයේ අග්‍රාමාත්‍ය ලෝටේ ශෙරීං කියා සිටියේ කුඩා ආර්ථිකයන් වත්මන් අර්බුදය හමුවේ දැඩි බලපෑමට ලක්ව ඇති බවයි. ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම ඉතා වැදගත් බව ද අගමැතිවරයා සාක් නායකයන්ට පැවසීය.
බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය කියා සිටියේ විවිධ රටවල් මේ සම්බන්ධයෙන් ලබා ඇති දැනුම හුවමාරු කරගැනීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි. ඒ සඳහා වන යාන්ත්‍රණය බංග්ලාදේශය මූලික කරගනිමින් ඇරඹීමට අගමැතිනිය යෝජනා කළාය.
මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් සෝලිහ් ප්‍රකාශ කලේ, සංචාරක කර්මාන්තයට සිදුවූ හානිය මුල් කරගනිමින් තම රට ද බලපතල ආර්ථික අර්බුදයක් නිර්මාණය කර ඇති බවයි. අහිමිවන ආදායම ඩොලර් මිලියන 400ක් පමණ බව බව ඔහු පැවසීය.
නේපාල අගමැති කේ.පී. ශර්මා ඔලි මහතා කියා සිටියේ සංචාරක කර්මාන්තයෙන් ඉහළ ආදායමක් ලබන තම රට ද රෝග තත්වය හමුවේ දැඩි නිරෝධායන ක්‍රියාමාර්ගවලට යොමු වී ඇති බවයි.
පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා වෙනුවෙන් ඔහුගේ සෞඛ්‍ය සේවා උපදේශකවරයා සමුළුවට අදහස් දැක්වීය.