“කොරෝනා“ තවත් රෝගියෙක් හමුවේ

මාර් 12, 2020

    “කොරෝනා වෛරසය“ ආසාදනය වූ බවට තහවුරු වූ දෙවැනි පුද්ගලයා අද හඳුනා ගැණුනා.

    ඔහු “කොවිඩ් නයින්ටීන්“ රෝගියෙකු ලෙස දැනට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයා සමඟ නවාතැන් ගෙන සිටි අයෙක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද පස්වරුවේ මේ බව තහවුරු කළේය. රෝගියා 44 වැනි වියේ පසුවේ. ඔහු ජාතික බෝවන රෝග විද්‍යායතනයට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරිණ.

    විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා....

    “මේ දෙදෙනාම සංචාරක නියාමකයින් වශයෙන් සේවය කරනවා. අද දින හඳුනාගත් රෝගියාට මෙම විෂබීජය පළමුව හඳුනාගත් රෝගියාගේ එම ජාලයෙන්ම සම්ප්‍රේණය වූ රෝගයෙක් හැටියට ප්‍රකාශ කරන්න පුලුවන්“ යැයි ජාසිංහ මහතා පැවසීය.

    පළමු රෝගියා ද ප්‍රතිකාර ලබන්නේ, එම විද්‍යායතනයේ. එම පුද්ගලයන් දෙදෙනාට රෝගය වැළඳුනු බවට අනුමාන කරන දින සිට ඔවුන් සමඟ සමීපව ඇසුරු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ද පසු විපරම් සිදු කෙරෙන බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. “කොරෝනා වෛරසය“ ආසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයන් 20 දෙනෙකු මේ වනවිට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සහ තවත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි.

    උණ රෝගය වැළඳීමෙන් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ රෝගීන් දෙදෙනා ද අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට අද යොමු කෙරිණ. ඔවුන්ගෙන් එක් අයෙකු මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ පොළොන්නරුව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ අයෙක්.

    මේ අතර පොලිස් මූලස්ථානය පවසන්නේ, කොරෝනා ආසාදිතයන් මෙරට විවිධ ප්‍රදේශවලින් හමුවී ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදු කෙරෙන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි. අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන්නැයි, පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, එම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව නෛතික පියවර ගන්නා බවයි. මේ පිළිබඳ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද අදහස් පළ කලේය.

    ශවේන්ද්‍ර සිල්වා මහතා...

    “අපිට කිසිසේත් බොරු කියන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඇත්ත ඇති සැටියෙන්මයි කියන්නේ. විවිධ කටකතාවලට හසුවෙන්න එපා. යුද හමුදාවේ 011-3 09 05 02 දුරකතන අංකයෙන් යම් කිසි දෙයක් දැනගන්න ඕනේ නම් කතා කරලා අහන්න. රට ආරක්‍ෂා කරන යුද හමුදාව, ත්‍රිවිධ හමුදාව කෙරෙහි බලාපොරොත්තු තියාගන්න. අපි කරන්න පුලුවන් උපරිමය කරනවා. කොරෝනා සම්බන්ධව අපට යම් දෙයක් දැනගන්න ලැබුණොත් අපි වහාම ශ්‍රී ලංකාවාසී ජනතාවට වහාම දැනගන්න ලක්කරනවා. ජනතාවට අයිතියක් තියෙනවා හරිදේ දැනගන්න. අපි වහලා කරන්න දෙයක් නැහැ“ යැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

    දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලිය යන රටවල සිට මෙරටට පැමිණෙන්නන් නිරෝධායනය කිරීම තවදුරටත් ක්‍රියාත්මකයි. මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයන් 931 දෙනෙකු රඳවා සිටී. අද ඒවාට යොමු කළ සංඛ්‍යාව 250ක්. මඩකලපුව සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානවලට අමතරව තවත් පිරිසක් ඊයේ රාත්‍රී දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට ද යොමු කෙරිණ. අදාළ පුද්ගලයන්ට “කොවිඩ් නයින්ටීන්“ රෝග ලක්‍ෂණ මතු වන්නේ ද යන්න පිළිබඳව එහි බලධාරීන් නිරතුරුව අවධානයෙන් පසුවේ. චීනයේ සිට පැමිණෙන්නන් පිළිබඳව ද තවදුරටත් පසු විපරම් කෙරේ.

    “කොරෝනා වෛරසය“, “කොවිඩ් නයින්ටීන්“ රෝගයෙන් වැළකීම, යහපත් පුරුදු සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් රජය අද ආරම්භ කළේය. එහි පළමුවැන්න පැවැත්වුණේ, ජනාධිපති කාර්යාලයේ. වෛද්‍ය දේශාන්ත දිසානායක මහතා දේශනය සිදු කළේය. මෙහි ඉදිරි වැඩසටහන් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    වැඩබිම් සේවකයන් දැනුවත් කිරීමට හා රෝගයෙන් ආරක්‍ෂාවීමට විශේෂ කාර්ය සාධක කමිටුවක් ස්ථාපනය කළ යුතු බව, කම්කරු සබඳතා අමාත්‍යාංශය පවසයි. ආර්ථිකයට සිදුවන බලපෑම් අවම කිරීම එහි අරමුණයි.

    ශ්‍රී ලංකා රජය කොවිඩ් නයින්ටීන් රෝගය මැඩපැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවලට, මහජන චීනයේ පූර්ණ සහය පළ වී තිබේ. මෙරට වැඩබලන චීන හූ වෙයි මහතා පවසන්නේ, කොරෝනා වෛරසයෙන් ආසාදනයට පත් චීන ජාතිකයන් හට ශ්‍රී ලාංකිකයන් දැක්වූ කෘතවේදීත්වය අගය කරන බවයි. අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ හූ වෙයි මහතා අතර කොළඹ චීන තානාපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරිණ. පසු ගිය තෙමසක කාලය තුළ චීන රජය කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට ගන්නා ලද
    ක්‍රමෝපායන් පිළිබඳ වාර්තාවක් මෙරට වැඩබලන චීන තානාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරියට පිළිගැන්වූවාය.

    Latest News