“කොරෝනා“ පාලනයට ක්‍රමවත් වැඩපිළිවෙළක් (වීඩියෝ)

මාර් 11, 2020
  • “කොරෝනා“ රෝග ව්‍යාප්තිය මැඩලීමට සහය වන්නැයි, රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

    රෝගය පාලනය කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් දියත් කර ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන්නන් නිරෝධායනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ද අදහස් පළ කෙරුණා.

    කණ්ඩායම් වශයෙන් සිදුකරන සංචාර තාවකාලිකව අත්හිටුවන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සියලු පාර්ශවවලින් ඉල්ලීමක් කළා. ආසාදිතයන් නොවන පුද්ගලයන් මුඛ ආවරණ පැළදීම අත්‍යවශ්‍ය නොවන බවයි, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ.

    විදේශ රැකියා සඳහා පිටත්ව යෑමට සූදානමින් සිටින පුද්ගලයන් තම ගමන් තාවකාලිකව කල් දැමීම සුදුසු බවයි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ.

    ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට පැමිණි පුද්ගලයන් 662 දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. ඒ, මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාල පරිශ්‍රය මධ්‍යස්ථානයට සහ කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයටයි. අදාල රටවල සිට මෙරටට පැමිණි පිරිසක් ද අද එම මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.

    ඔවුන් දින 14ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තැබෙනු ඇති. නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් බලපවත්නා නීතිමය පසුබිම පිළිබඳව ද ආරක්‍ෂක මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකදී අද පළ කෙරුණා.

    චීනයේ සිට පැමිණෙන මගීන් දින 14ක් පසුවිපරම් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ක්‍රියාත්මකයි. මේ වනවිට එලෙස පසුවිපරමට ලක් කෙරෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 4,443ක්.

    මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ඉතාලි ජාතික කාන්තාවක් අද උදේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණා. ඇයගේ සැමියා ද අනතුරුව එම රෝහලටම ඇතුලත් කෙරුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

    Last modified on බදාදා, 11 මාර්තු 2020 20:39

    Latest News