රවී කරුණානායක ඇතුලු දස දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

මාර් 06, 2020

    බැඳුම්කර වංචාවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුලු දස දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා.

    ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ විසින්. 2016 මාර්තු 29 සහ 31 පැවැත්වූ බැඳුම්කර වෙන්දේසිවල දී සිදු කළ අපරාධමය වැරදිවලට අදාළව හිටපු අමාත්‍ය රවී කරුණානායක සහ තවත් 9 දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලෙස අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

    අදාළ බැඳුම්කර වෙන්දිසිවලදී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක, පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 12 දෙනෙකුට අදාළව ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති බැවින් ඔවුන් පිලිබඳව අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට පසුගියදා උපදෙස් ලබාදී තිබුණා.

    ඒ අනුව පසුගිය 4 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කළා. එහිදී ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා. රවී කරුණානායක මහතා ඇතුලු අයගේ විදෙස් ගමන් තහනමක් පැනවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

    Latest News