නව ජල සම්බන්ධතාවක් ලබා ගැනීමේ මුලික ගාස්තුව පහළට: රු 2500 ක්

මාර් 06, 2020

    නව ජල සම්බන්ධතාවක් ලබා ගැනීමේදී ගෙවිය යුතු මුලික ගාස්තුව රුපියල් 2500 ක් දක්වා අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    මීට පෙර ජල සම්බන්ධතාවක් ලබා ගැනීමේ මුලික ගෙවීම වූයේ රුපියල් 8000 ක මුදලකි.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මේ තොරතුරු අනාවරණය කළේය.

    ගෘහස්ථ පානීය ජල සබඳතා 150,000 ක් ලබා දීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

    ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය විසින් වාර්ෂිකව ගෘහස්ථ පානීය ජල සබඳතා 110,000 ක් ලබා දෙන අතර, මේ වනවිට මෙරට ජනගහනයෙන් 41% ක් ආවරණය කරමින් මිලියන 2.4 ක ජල සබඳතා ලබා දී ඇත.

    2020 වර්ෂයේ මුල් කාර්තු දෙක තුළදී නව ගෘහස්ථ ජල සබඳතා ලබා දීම ස‍ඳහා කඩිනම් වැඩසටහනක් ආරම්භ කිරීමට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    Latest News