ඉහළ යන පොල් මිල පාලනයට විධිමත් වැඩපිළිවෙළක් සකසන්න; අගමැති

මාර් 04, 2020

    ඉහළ යන පොල් මිල පාලනය සඳහා, විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා.

    අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ, උඳු හා කහ සඳහා දැනට ඇති ආනයනික සීමා තාවකාලිකව ඉව්ත කිරීමට ද අවධානය යොමුව ඇති බවයි. අග්‍රාමාත්‍යවරයා මීට අදාළ උපදෙස් ලබාදුන්නේ, අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් සමාලෝචනය සඳහා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ජාවකදී. කුරුණෑගල වැවිලි සමාගම, හලාවත වැවිලි සමාගම හා පොල් වගා කිරීමේ මණ්ඩලය ඒකාබද්ධව සතොස ඇතුළු රාජ්‍ය ආයතන සම්බන්ධීකරණයෙන් පාරිභෝගික ජනතාව වෙත සහන මිලට පොල් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මෙහිදී තීරණය කෙරුණා.

    ටින් මාළු, කුකුල් මස් සහ බිත්තර මිල ගණන් සම්බන්ධව ද සමාලෝචනය කෙරුණා. දේශීය කිරිපිටි නිෂ්පාදනය සඳහා ඇති පාලන මිල ඉවත්කර, තරගකාරීව පාරිභෝගික ජනතාවට කිරි පිටි ලබාදීමට තීරණය කර තිබෙනවා. එළවළු මිල ගණන් පාලනය කිරීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන භාවිත කරමින් සතොස ද සම්බන්ධ කර ගනිමින් වැඩපිළිවෙළක් ආරම්භකිරීමට ද අවධානය යොමු කෙරුණා. අග්‍රාමාත්‍යවරයා, බලධාරීන්ට දැනුම් දුන්නේ පාරිබෝගික ජනතාව පීඩාවට පත් කෙරෙන ආකාරයේ මිල ගණන් ඉහළ දැමීම සිදුකරන සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇති කරන අතරමැදියන් සම්බන්ධව, දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. මැති-ඇමතිවරුන් හා අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් සාකච්ජාවට එක්ව සිටියා.

    Latest News