අතිපූජ්‍ය මැටරඹ හේමරතන හිමි ප්‍රණාම පූජා මහෝත්සවය ජනපති, අගමැති ප්‍රධානත්වයෙන් (වීඩියෝ)

පෙබ 29, 2020
  • මල්වතු මහාවිහාරයීය මංගල උපෝසථාගාරයේ උපාධ්‍යාය පදවිය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් අතිපූජ්‍ය මැටරඹ හේමරතන නායක හිමිපාණන් වහන්සේ පිදුම් ලැබූ සේක.

    ඊට අදාළ ශ්‍රි සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය ගාල්ල, උණවටුන යටගල රජමහා විහාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (29) පස්වරුවේ පැවැත්විණි. පූජ්‍ය මැටරඹ හේමරතන නායක ස්වාමින් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය. අග්‍රාමාත්‍යතුමා විජිණිපත පිළිගැන්වීය.

    දශක 03ක කාලයක් ත්‍රස්තවාදය රට වෙළා සිටී සමයෙහි මැටරඹ හේමරතන හිමියන් කළ යුග මෙහෙවර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සිහිපත් කරනු ලැබීය.

    යටගල රජමහා විහරය, ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය සහ ඓතිහාසික මගුල් මහා විහාරය ඇතුළු විහාරස්ථාන අටක විහාරාධිපති ධූරය හොබවන පූජ්‍ය මැටරඹ හේමරතන නායක හිමියන් සිදුකරන ශාසනික සේවාව අතිවිශාල බව අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේය.

    උන්වහන්සේ “උසස් පෙළ බෞද්ධ ධර්ම සංඝාය, ලේඛන රේඛා සහ හින්දු ආර්ය සංස්කෘතිය, වන්දනා ගාථා සහ ඓතිහාසික මගුල් මහා විහාරය ඇතුළු ග්‍රන්ථ රැසක් රචනා කර තිබේ.

    බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් හේමරතන හිමියන් ගෙන යන ශාසනමාමක සහ ජාතිමාමක සේවාව ද අගමැතිතුමා සිහිපත් කළේය. අභිනව නා හිමියන් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා වෙත ආශිර්වාද කරමින් තිළිණ ප්‍රදානය කිරීමක් ද සිදු කෙරිණ.

    මහානායක, අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 29 පෙබරවාරි 2020 20:14

    Latest News