පොලිස් මලල ක්‍රීඩා උළෙලේ සමාප්තිය ජනපති ප්‍රධානත්වයෙන් (වීඩියෝ)

පෙබ 29, 2020
  • පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ.

    83 වන වරට පැවති ක්‍රීඩා උළෙල ජවන හා පිටිය ඉසව් රැසකින් සමන්විත විය.දින 03 ක් පුරා පැවති ක්‍රීඩා උළෙලට පොලිස් කොට්ඨාස 60ක් නියෝජනය කරමින් හාරදහසකට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගී වූහ.

    ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න සහ වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න යන මහත්වරු විසින් ජනාධිපතිතුමා පිළිගත් අතර, කණ්ඩායම් 30 කින් සමන්විත පොලිස් උත්තමාචාර ද පිරිනැමින.

    උත්තමාචාර පෙළපාලියේ හොඳම තූර්ය වාදන කණ්ඩායම් වෙත තිළිණ ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.
    සමස්ත තරඟාවලියේ ශූරතාව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය දිනාගත් අතර අනුශූරතාව හිමිවූයේ අග්‍රමාත්‍ය ආරක්ෂක දිසාවටයි. වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ද ජනාධිපතිතුමා අතින් සමරු තිළිණයක් පිළිගැන්විණි.

    පොලිස් සංස්කෘතික අංශය හා පොලිස් තූර්ය වාදන අංශය එක්ව ඉදිරිපත් කළ සංදර්ශනයකින් මේ අවස්ථාව වර්ණවත් විය.මෙරට පැවැත්වෙන ක්‍රීඩා තරඟ අතර පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙලට ප්‍රධාන තැනක් හිමි වේ.

    ශ්‍රී ලංකා පොලීසිය මෙමගින් නවක දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් හඳුනා ගනී.දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා අන්තර් ජාතික මට්ටමේ තරඟවලට සහභාගීවීමේ අවස්ථාව හිමි වේ. අමාත්ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු ආරාධිත පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 29 පෙබරවාරි 2020 20:18

    Latest News