කුලී වැඩ කොට තනාගත් නිවස අහිමි වී අසරණ වූ දරු පවුලක්

පෙබ 28, 2020

    කුලී වැඩ කොට තනාගත් නිවස අහිමි වී අසරණ වූ දුක්බර දරු පවුලක් පිළිබඳ පුවතක් ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා වේ.

    ගලේවෙල, වෑමැඩිල්ල ජලාශය සිට වයඹ පළාතට ජලය රැගෙන යෑමක සඳහා අලුතින් ඉදිකෙරෙන වයඹ ඇළ ව්‍යාපෘතිය පසුගිය රජය සමයේ ආරම්භ කළ ව්‍යාපෘතියකි. අදාළ නිවෙස් හිමියන් සඳහන් කරන්නේ, මේ ඉදිකිරීම් නිසා ඔවුන්ගේ නිවස කඩාවැටීමේ අවදානමකට ලක්ව ජීවත් වීමට නොහැකි තත්වයකට පත්ව තිබෙන බවයි.

    මෙම අවදානම් තත්වය නිසා ඩබ්ලිව්. අනෝමා වීරසිංහ මහත්මිය, එච්. එම්. චන්ද්‍රසිරි මහත්මා, සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනා දැනට කුලී නිවසක ජීවත්වෙති. මෙවර උසස් පෙළ සහ 7 වසරේ අධ්‍යාපනය හදාරන ඔවුන්ගේ දරුවන් මේ නිසා විශාල දුෂ්කරතාවයට ලක් ව සිටින බවයි ඔවුන් පවසන්නේ.

    මීට වසර එකහමාරකට ඉහත සිට වයඹ ඇළ ව්‍යාපෘතිය ඉදිකිරීම් හේතුවෙන් මෙම නිවස ඉරිතලා කඩා වැටීමේ අවදානමක ලක් වීමට පටන්ගත් බව අනෝමා වීරසිංහ මහත්මිය පවසයි.

    ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට ඉහළම මට්ටමේ රාජ්‍ය ආයතනවලට මේ සිදුව ඇති අසාධාරණය පිළිබඳව ලිඛිතව හා වාචිකව ඔවුන් දැනුම් දී ඇත. එම ආයතනවලින් පැමිණි නිලධාරීන් තම නිවසේ ඉරිතැලී ඇති ස්ථාන හැත්තෑවකට වඩා වැඩි ප්‍රමාණයක සටහන් දමා කොළ කැබලි අලවා ගිය බව ඇය පවසයි. මේ වන විට එම ඇලවූ කොළ කැබලි ද පසාරු කරගෙන නිවස දෙදරා කඩාවැටීමේ දැඩි අවදානම් තත්වයකට පත් ව තිබේ. ඒ සමඟ ඔවුන්ට සිදුව ඇත්තේ වෙනත් ප්‍රදේශයක කුලී නිවසක් වෙත යාමටයි. ඒ සඳහා කොන්ත්‍රාත් සමාගමෙන් නිවසේ කුලිය මාස කිහිපයක් ලබා දුන් බවත් වර්තමානය වන විට එම මුදල ද ලබා නොදී සිටින බවයි ගෙහිමි අනෝමා වීරසිංහ මහත්මිය පවසන්නේ.

    තම සැමියා කුලී වැඩක් කරන බවත් තමන් ගමේ ඇඳුම් මසා දරුවන් දෙදෙනාට ඉගැන්වීම් කටයුතු සිදු කරන බවත් අනෝමා මහත්මිය පවසයි. ඒ දුෂ්කරතා මධ්‍යයේ සමෘද්ධි බැංකුවෙන් ණයක් ලබාගෙන, බදාම අනමින් අත්වැඩ ලබාදී තම නිවස වසර ගණනාවක් තිස්සේ ඉතා දුක් මහන්සියෙන් ඉදිකරගත් බව අනෝමා මහත්මිය පවසයි. එය කඩාවැටීම ඉතා ඛේදජනක තත්වයක් බවයි ඇය හැඬු කඳුළින් පවසන්නේ. ඔවුන්ගේ නිවසේ අවදානම් තත්වය කොතෙක් ද යන්න පැහැදිලි වන්නේ නිවස ඇතුලත ඇති ගඩොල් බැමි මේ වනවිටත් නිවස තුළට කඩා වැටෙමින් පැවතීම නිසා බව අප වාර්තාකරු සඳහන් කරයි.

    එවැනි පසුබිමක් පවතිද්දී ඉදිකිරීම් සමාගම සහ මහවැලි අධිකාරිය කියා ඇත්තේ මෙම නිවසට වන්දි මුදලක් ලබාදීමට හෝ වෙනත් නිවසක් තනා දීමට නොහැකි බවයි. සිදු කර හැක්කේ දැනට පවතින පුපුරා ගිය ස්ථාන අලුත් වැඩියා කර දීමට පමණක් බවද ඔවුන් ඇයට දැනුම් දී ඇත.

    නිවස හිමි අනෝමා වීරසිංහ මහත්මිය ඉල්ලා සිටින්නේ ඉතා දුෂ්කරතා මැද ගොඩනැගූ තම නිවස වෙනුවට නව නිවසක් තනා දෙන ලෙසයි.

     

    Latest News