PortCity ව්‍යාපෘතියේ, නව වෙරළ තීරය හා සුවිසල් පොදු උද්‍යානය ලබන වසරේ ජනතාවට (වීඩියෝ)

පෙබ 17, 2020
  • කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදි කෙරෙන නව වෙරළ තීරය හා සුවිසල් පොදු උද්‍යානය ලබන වසරේ ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට නියමිතයි.

    ශ්‍රී ලංකා සිතියමට නව හැඩයක් එක් කරමින් බිහිවන කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු කළ දැවැන්තම සෘජු විදේශ ආයෝජන ව්‍යාපෘතියයි. පරිසර හිතකාමී තිරසාර නගර සංකල්පයට අනුව, මෙය නිර්මාණය වනවා. පරිසරයේ සුන්දරත්වය රිසියේ විඳිමින් නිදහස් පරිසරයක කාලය ගත කිරීමට මෙහි යන අයට හැකිවනු ඇති. ව්‍යාපෘතියේ මධ්‍යම උද්‍යානයේ ඉදිකිරීම් දැන් ක්‍රියාත්මකයි.

    මධ්‍යම උද්‍යානය ගාලු මුවදොර පිටිය මෙන් නව ගුණයක විශාලත්වයෙන් යුතුයි. නියමු ව්‍යාපෘතියක් ලෙස මෙහි සිට වූ ගස් වර්ග ආගන්තුක පරිසරයට ගැලපෙන්නේ දැයි පරීක්‍ෂාවට ලක් කෙරෙනවා. ඒ අනුව නව උද්‍යානයේ රෝපණය සඳහා මධ්‍යම පළාතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන් ඉවත් කෙරෙන විවිධ ගස් වර්ග රැගෙන ඒමට ද සැලසුම් කර තිබෙනවා. මුහුද ගොඩ කිරීම හේතුවෙන් අහිමි වූ වෙරළ තීරය වෙනුවට කිලෝ මීටර 2ක පමණ දිගින් යුතු නව වෙරළ තීරයක් ද ව්‍යාපෘතිය යටතේ ඉදි කෙරෙනවා. දිය කඩනය හේතුවෙන් මුහුදින් ආවරණය වූ නව වෙරළ තීරය මීටර 3.5ක උපරිම ගැඹුරකින් යුතුයි.

    ව්‍යාපෘති සැලසුමට අනුව, සාගරය, ඇළමාර්ග සහ තුරුවියනකින් සමන්විත නීල හරිත පරිසරය වෙනුවෙන් ව්‍යාපෘති භූමියෙන් 40%ක් වෙන් කළ යුතුයි. ඒ අනුව, වැලි ඝන මීටර මිලියන 65ක් පොම්ප කරමින් හෙක්ටයාර 269ක ඉදිවන වරාය නගර ව්‍යාපෘතියේ හෙක්ටයාර 91ක් වෙන් වන්නේ උද්‍යාන හා ජල තීර ඇතුළු හරිත පරිසරය වෙනුවෙන්.

    Last modified on අඟහරුවාදා, 18 පෙබරවාරි 2020 20:13

    Latest News