විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හා පුද්ගලයින් තම අයිතිවාසිකම් වෙනුවෙන් පාගමනක

පෙබ 11, 2020

    ආබාධිත මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හා පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අම්බලන්තොට දී පාගමනක් පැවැත්විණි.

    ඔවුන් වෙනුවෙන් නිසි සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන් ගිලිහී යන ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දෙන ලෙස ඉල්ලමින් අබාධිත දරුවෝ මෙන්ම වැඩිහිටියෝ ද අද (11) මෙසේ පාගමනට නිරතවූහ.

    අම්බලන්තොට ගිරිහඩු සෑය විහාරය අසලින් ආරම්භකළ මෙම විරෝධතා පාගමන අම්බලන්තොට නගරය තෙක් ගමන්ගෙන අම්බලන්තොට පොදු වෙළද පොළ භූමියෙන් නැවත ගිරිහඩු සෑය විහාරය දක්වා ගමන්ගන්නා ලදී. මේ අවස්ථාවේදී අම්බලන්තොට පොදු වෙළඳ පොළතුළ සිටින ව්‍යාපාරිකයින් විසින් මේ පිරිස වෙත විවිධ පරිත්‍යාග ද සිදුකරන කරන ලදී .

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආබාධිත මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හා වැඩිහිටි අය 5727 දෙනෙකු සිටින බව වාර්තාවේ. ඉන් යම් මට්ටමකට අධ්‍යපනය ලැබිය හැකි දරුවන් රජයේ පාසල්වලට ඇතුලත් කරගැනීමේ ක්‍රමවේදයක් පැවතුනත් මේ වන විට එම දරුවන් පාසල් තුළට ඇතුලත් කරගැනීම බොහෝ පාසල් තුලින් සිදු නොකරන බවයි අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ස්වශක්ති අබාධිත තැනැත්තන්ගේ සංගමයේ ලේකම් විමලා අබේසේකර කියා සිටින්නේ.

    රටේ සෑම පුරවැසියෙකුටම මෙන්ම අබාධිත මෙම අහිංසක දරුවන්හට ද අයිතිවාසිකම් ඇති මුත් මේ වන විට නිලධාරීන්ගේ මෙනේම දේශපාලනඥයින්ගේ ද අවදානයෙන් ගිලිහි යාම නිසා ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය ද මේ වනවිට නැතිවී ගොස් තිබෙන බවයි ඔවුන් පවසන්නේ. එමෙන්ම මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය නිසි අයුරින් යොමු කිරීම නීති ගරුක මෙන්ම සදාචාර සම්පන්න සමාජයක වගකීමක් බව ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.

    Latest News