දඹුල්ලේ ජල නල පිපිරී මාර්ග අබලන් ; අනතුරු රැසක්

පෙබ 11, 2020

    දඹුල්ලේ ‍ප්‍රධාන මාර්ග දැඩි ලෙස අබලන් වී අනතුරු රැසක් සිදුවන බව වාර්තාවේ.

    දඹුල්ල නගර මධ්‍යයේ ‍ප්‍රධාන මාර්ගවල අභ්‍යන්තරයේ ඇති ජල නල පුපුරා යෑම හේතුවෙන් ස්ථාන 35ක පමණ මේ වන විට දැඩි ලෙස අබලන් වී ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

    වසර කීපයක සිට මේ පිළිබඳව දඹුල්ල ජලාපවහන මණ්ඩලයට, මාර්ග සංවර්ධන අධිකාරියට සහ බලධාරීන්ට දැනුම් දුන්න ද කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවත් දිනපතාම මාර්ගයේ කඩා යෑම හේතුවෙන් අනතුරු රැසක් සිදුවන බවද ජනතාව වැඩිදුරටත් පෙන්වා දෙති. රාත්‍රී කාලයේ මෙන්ම දිවාකාලයේදී එකවරම ප්‍රධාන මාර්ගය පුපුරා ගොස් වලවල් හෑරී විශාල ජල කඳක් මාර්ගය හරහා ගමන් කරන බවත් ඔවුහු පෙන්වා දෙති.

    ප්‍රධාන මාර්ගයේ ඇතැම් තැනක අඩි හතක් පමණ ගැඹුරු වලවල් හෑරී ඇති ස්ථාන පවතින බවත් නැවත මාර්ග පිළිසකර කිරීමේදී ද ප්‍රමිතියකින් තොරව පිළිසකර කිරීම හේතුවෙන් කුඩා වාහන අනතුරුවලට ලක් වෙන බව ද වාර්තාවේ.

    දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ සිට මිරිස්ගෝනිය ඔය ප්‍රදේශය දක්වා කිලෝමීටර් දහයක පමණ දුරක් මෙයාකාරයෙන් නිරන්තරයෙන් ජල නල පුපුරා යෑම හේතුවෙන් මාර්ගය විනාශ වී පවතින බව ද ප්‍රදේශවාසීන් පෙන්වා දෙති.

    දඹුල්ල ජල හා ජලාප්‍රවාහන මණ්ඩලය ස්ථාන භාර නිළධාරී සජීව සම්පත් කුලතුංග මහතාගෙන් අප වාර්තාකරු කළ විමසීමේදී කියා සිටියේ මාර්ගය අභ්‍යන්තරයේ වසර විසිපහකට පමණ පැරණි ජල නල එළා තිබෙන බවත් ඒවා නිරන්තරයෙන් පුපුරායෑම සිදුවන බවයි. මාර්ගය නඩත්තු කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මාර්ග සංවර්ධන අධිකාරියට තම ආයතනය මඟින් ගෙවීම් සිදු කරන බව ද සඳහන් කළේය. මාර්ගය පිළිසකර කිරීමේ ප්‍රමිතිය තත්ත්වය පිළිබඳව වගකීම මාර්ග සංවර්ධන අධිකාරියට පැවරෙන බව ද හෙතෙම සඳහන් කළේය.

    මාර්ග සංවර්ධන අධිකාරියේ නාලන්ද කාර්යාලයේ විධායක ඉංජිනේරු පන්චුල රත්නායක මහතාගෙන් විමසීමේදී කියා සිටියේ මාර්ගය මැදින් ජල නල එළා ඒවා පුපුරා යෑම තමාට ද පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක පවතින බව ය. මාර්ගයේ නිතර අනතුරු සිදුවන බවට තමාට ද වාර්තා වී තිබෙන බවත් මෙම තත්වය මඟහරවා ගැනීමට අවැසි නම් වහාම මාර්ගය මැදින් ඇති ජල නල පද්ධතිය ඉවත් කළ යුතුව තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය. මුදල් ලැබුණ ද අනතුරු සිදුවීමේ දී මුදල්වලින් එය තක්සේරු කිරීමට නොහැකි බව ද විධායක ඉංජිනේරු මහතා තවදුරටත් සඳහන් කළේය.

    එමෙන්ම රාත්‍රී කාලයේ වාහන ගමනා ගමන් කිරීමේදී එක වැරම මාර්ගය ගිලා බැසීම සිදුවීම තුළින් මහා විනාශයක් සිදුවිය හැකි බව ජනතාව පෙන්වා දෙති.

    Latest News